ගොඩනැගිල්ලක් මත වැටුණු තවත් ගොඩනැගිල්ලක්

කොළඹ සර් ජේම්ස් පීරිස් මාවතේ අක්කර දෙකක බිම්කඩක ඉදි කරලා තියෙන Altair මහල් නිවාස සංකීර්ණය වෙත, කොළඹට පැමිණෙන්නන්ගේ අවධානය යොමු වන්නේ එය ගොඩනැගිල්ලක් මත වැටුණු තවත් ගොඩනැගිල්ලක් ආකාරයට නිර්මාණය කර තිබීම නිසාවෙන්. මෙම අපූරු ගොඩනැගිල්ලේ ගෘහ නිර්මාණ ශිල්පියා ලොව සුපතල නිර්මාණ ශිල්පියකු වන ඊශ්‍රායල ජාතික Moshe Safdie. ඔහු ලෝකය පුරා ප්‍රසිද්ධ වුණේ සිංගප්පූරුවේ Marina Bay Sands, කැනඩාවේ Habitat 67 වගේ ඉදිකිරීම් වල ගෘහ නිර්මාණ ශිල්පියා විදිහට.

මෙහි සෘජු ව ඉදිකර ඇති කුළුණ මහල් 68කින් සමන්විත වන අතර ඇලයට ඉදිකර ඇති කුළුණේ මහල් 63ක්. උස මීටර් 240 ක් වන මෙම ගොඩනැගිල්ල ලංකාවේ උසම කුළුණු අතරටද අයත් වෙනවා. නිවාස 400 කට අධික සංඛ්‍යාවකින් සමන්විත මෙම මහල් නිවාස සංකීර්ණයේ කුඩා නිවසක් වර්ග අඩි 1500 පමණ වන අතර නිදන කාමර පහකින් සමන්විත penthouse එකක් වර්ග අඩි 5000ක්.

ශ්‍රී ලංකාවේ පළමු Sky Garden එකට හිමිකම් කියන්නේද Altair මහල් නිවාස සංකීර්ණය. එය ඉදි කර ඇත්තේ පොළොව මට්ටමේ සිට මීටර් 220ක් ඉහළින් ඇල වුණු ගොඩනැගිල්ලේ 63වන මහල මත. මීට අමතරව මේ ගොඩනැගිල්ල පිහිනුම් තටාක, උත්සව ශාලා, සුඛෝපභෝගී අවන්හල් වගේම රථ වාහන අංගන වැනි පහසුකම් වලින් ද සමන්විතයි.

ඉන්දියාවේ South City ආයතනයේ ඇමරිකානු ඩොලර් මිලියන 250 ක ආයෝජනයක් මත 2012 වර්ෂයේ දී මූලික වැඩ කටයුතු අරඹමින් ඉදිකිරීම් ඇරඹුණු Altair මහල් නිවාස සංකීර්ණය විවෘත කෙරුණේ 2021 වර්ෂයේ මාර්තු මාසයේදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *