පුද්ගලයෙක් තවත් පුද්ගලයෙක්ට උපකාරයක් කළ විට ඊට කෘතවේදී වීම උතුම් මනුෂ්‍ය ගුණාංගයක්. ‘உண்டி கொடுத்தோர் உயிர் கொடுத்தோரே’ (උණ්ඩි කොඩුත්තෝර් උයිර් කොඩිත්තෝරේ) නම් දමිළ වහරේ එන ප්‍රසිද්ධ ප්‍රස්ථාව පිරුළ මගින් මේ බව අවධාරණය කෙරෙනවා. මින් අදහස් කරන්නේ ‘යමක් යමෙකුට ලබා දෙන්නේ නම් ඔවුන් පණ දුන් හා සමානයි’ යන්නයි. මේ අනුව යමින් දමිළ හින්දු ජනතාව අද දින සමරන තෛපොංගල් උත්සවයේ ප්‍රධාන පරමාර්ථය කෘතවේදීවය දැක්වීම. ඔවුන් මේ ආකාරයට කෘතවේදී වන්නේ සිය ගොවිතැනේදී ආහාර නිශ්පාදනය සඳහා උපකාරී වන ස්වභාව ධර්මය, සූර්යයා සහ ගව මහේෂාදීන්ට.
ඒ අනුව දින හතරක් පුරා පැවැත්වෙන තෛපොංගල් උත්සවයේ දෙවන දිනය වන අද පැවැත්වෙන ‘පොංගල් පණ්ඩිගෛ’ උත්සවය දමිළ ජනතාව වෙන් කරගෙන තිබෙන්නේ සූර්ය දිව්‍ය රාජයාණන් උදෙසා පුද පූජා සිදුකොට කිරි උතුරුවා කෘතවේදීත්වය පළ කිරීමටයි. තුන්වන දිනට යෙදී තිබෙන ‘පට්ටි පොංගල්’ උත්සවයේදී ගොවිතැනට උපකාරී වන ගවයන්, එළුවන් ආදී සතුන් නහවා පිරිසිදු කොට, ගෙලට මල් මාලා පළඳවා, නළලට කුංකුම තිලක තබා අනතුරුව ආගමික වතාවත් සිදුකොට කිරි උතුරුවා කිරිබත පිස දෙවියන්ට පූජා පැවැත්වීමෙන් පසු එම සතුන්ට කිරිබත් කවා සත්කාර කරමින් කෘතවේදීත්වය පළ කරයි.