දශක තුනකට ප්‍රථම ලොවක් එක් වී දරුවන්ට දුන් පොරොන්දුව

1970 දශකයේ අග භාගය වන විට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ලෝකය පුරා ජීවත් වන දරුවන්ගේ සුභ සිද්ධිය සහ රැකවරණය වෙනුවෙන් සම්මුතියක් සකස් කිරීමේ ඇති අවශ්‍යතාව හඳුනා ගන්නවා. ඒ අනුවයි එහි මූලික පියවරක් විදිහට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ළමා අයිතිවාසිකම් වර්ෂය ලෙස 1979 වර්ෂය නම් කරන්නේ.

මේ අතරේ, මානව හිමිකම් කොමිසමේ මූලිකත්වය සහ මග පෙන්වීම ඇතිව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ සෙසු රාජ්‍ය නොවන සංවිධාන ඒකාබද්ධව වී ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (Convention on the Rights of the Child) සකස් කරනවා. 1989 නොවැම්බර් 20 වැනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 44 වන සැසි වාරයේ දී අනුමත කර ප්‍රකාශයට පත් කළේ මේ සම්මුතිය. මෙය තමයි අද වන විට ජත්‍යන්තර ගිවිසුම් අතරින් වැඩිම රටවල් ප්‍රමාණයක්, එනම් රටවල් 196 ක් විසින් අත්සන් කර තිබෙන ගිවිසුම.

දරුවන්ගේ සංවර්ධනය, ඔවුන්ගේ අභිවෘද්ධිය සහ යහපැවැත්ම පිළිබඳව සැලකිලිමත් වීමට ලොව පුරා රජයන් එකඟ වීම මේ ගිවිසුම හරහා සිදු වුණා. ඒ නිසා එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය සමස්ත ලෝකයම පාහේ එකතු වී දරුවන්ට ලබා දුන් පොරොන්දුවක් විදිහට හැඳින්වීමේ වරදක් නැහැ.

වගන්ති 54 කින් සමන්විත වන එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය සකස් කරලා තියෙන්නේ මූලික වශයෙන් මූලධර්ම 4 ක් මත පදනම්ව. ඒවා නම්,

  • දරුවන් සම්බන්ධයෙන් වෙනස් කොට නොසැලකීම (Non-discrimination)
  • දරුවාගේ උපරිම යහපත (Best interest of the child)
  • පැවැත්ම සහ සංවර්ධනයට ඇති අයිතිය (Right to survival and development)
  • ළමයාගේ අදහස් වලට ගරු කිරීම (Respecting the views of the child)

සම්මුතියේ පළමු වන වගන්තියෙන් අවධාරණය කෙරෙන්නේ වයස අවුරුදු 18 ට අඩු සෑම මනුෂ්‍යයෙක්ම ළමයෙක් බව සහ ඔවුන් හට සම්මුතියේ සදහන් සියළු අයිතිවාසිකම් හිමිවිය යුතු බවයි.

එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ පළමු වගන්ති 42 මගින් සෘජුවම ඉහත සඳහන් කෙරුණු මූලධර්ම 4 මගින් පිළිබිඹු වන දරුවන්ගේ අයිතිවාසිකම් ජීවත්වීම (Survival), ආරක්ෂාව (Protection), සංවර්ධනය (Development) සහ සහභාගීත්වය (Participation) යන ක්ෂේත්‍රයන් ඔස්සේ සුරක්ෂිත කිරීමට අදාල කාරණා ප්‍රකාශයට පත්කොට තිබෙනවා. සෙසු වගන්ති මගින් විස්තර කෙරෙන්නේ ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය සම්බන්ධයෙන් රජයක් ලෙස ක්‍රියාකාරි විය යුතු ආකාරය.

1990 ජනවාරි 26 වන දින එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට අත්සන් කළ ශ්‍රී ලංකාව, එය අපරානුමත (Ratify) කරන ලද්දේ 1991 ජූලි 12 වන දිනයි. ළමා අයිතිවාසිකම් පිළිබද සම්මුතිය පිළිගැනීමත් සමඟ ශ්‍රී ලංකා රජය විසින් 1992 දී ළමා අයිතිවාසිකම් පිළිබද ප්‍රඥප්තිය එළි දැක්වූවා.

මීට අමතරව, ළමා අයිතිවාසිකම් පිළිබද සම්මුතියට සමගාමීව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වෛකල්පික ප්‍රකාශන (Optional Protocols) තුනක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අතරින් ශ්‍රී ලංකාව, යුධ ගැටුම් වලින් පීඩාවට පත් වූ දරුවන් සම්බන්ධයෙන් වන වෛකල්පික ප්‍රකාශනයට (Optional Protocol to the UNCRC on Involvement of Children in Armed Conflict) සහ ළමා වෙළදාම, ළමා ගණිකා වෘත්තිය සහ ළමුන් අසභ්‍ය රූපරාමු සදහා යොදා ගැනීම සම්බන්ධයෙන් වන වෛකල්පික ප්‍රකාශනයට (Optional Protocol to the UNCRC on Sales of Children, Child Prostitution and Child Pornography) අත්සන් කොට ක්‍රියාත්මක කිරීමට බැදී සිටිනවා.

මෙම සම්මුතීන් සියල්ල ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේ පුරෝගාමියා වශයෙන් ක්‍රියා කරන්නේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය. ඒ යටතේ පිහිටුවා ඇති ජාතික පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව ළමා අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමේ ආයතනය ලෙස කටයුතු කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *