මානව ඉතිහාසයේ ඓතිහාසික සංධිස්ථානයක් සනිටුහන් කරමින් ජර්මානු ජාතික කාර්ල් බෙන්ස් තමා විසින් නිර්මාණය කළ ලොව ප්රථම මෝටර් රථය වෙනුවෙන් පේටන්ට් බලපත්රය සඳහා ඉල්ලුම් කළේ මීට වසර 140 කට පෙර, එනම් 1886 වර්ෂයේ අද වැනි දිනකයි. අංක 37345 දරන පේටන්ට් බලපත්රය ඊට හිමි වූ අතර එය “මෝටර් රථයේ උප්පැන්න සහතිකය” ලෙස ද ප්රසිද්ධියට පත් වී තිබේ.
රෝද 3 කින් සමන්විත වූ මෙම රථයේ එන්ජිම තනි සිලින්ඩර සිව් පහර එන්ජිමක් (single-cylinder four-stroke engine) වූ අතර ක්රියාත්මක වූයේ පෙට්රල් දහනය කිරීමෙනි. එය දළ වශයෙන් අශ්වබල 0.75 කි.
සෑම සාර්ථක පිරිමියෙක් පිටුපසම ආදරණීය බිරිඳක් සිටින බව සනාථ කරමින් 1888 දී කාර්ල් බෙන්ස්ගේ බිරිඳ වූ බර්තා බෙන්ස් සිය සැමියා නිර්මාණය කළ මෝටර් රථයෙන් කිලෝමීටර් 106 ක නිර්භීත, දීර්ඝ ගමනක නිරත වූවාය. මෙම ගමන මෝටර් රථය කෙරෙහි ලොව පුරා ජනතාවගේ උනන්දුව ඇති කිරීමට බෙහෙවින් හේතු විය.
ගෙවී ගිය වසර 140 තුළ මෝටර් වාහන, තාක්ෂණ අදියර කිහිපයක් පසු කරගෙන පැමිණ තිබෙනු හඳුනා ගැනීමට හැකිය. ආරම්භයේදී පෙට්රල් බලයෙන් ක්රියාත්මක වන එන්ජින්වල සිට ඩීසල් වාහන දක්වාත්, පසුව ඉන්ධන සහ විදුලි බලය ඒකාබද්ධ කරන දෙමුහුන් (Hybrid) වාහන දක්වාත් වැඩි දියුණු වූ අතර, මේ වන විට සම්පූර්ණයෙන්ම විදුලි බලය මගින් ධාවනය වන වාහන කෙරෙහි ලෝකයේ අවධානය යොමු වී තිබේ.
ඒ අනුව එක් කරුණක් පැහැදිලිය. එය නම් මිනිස් ජීවිතය වෙනස් කළ අපූරු නිර්මාණයක් වන මෝටර් රථය තවත් අවුරුදු 140 ක් නොව ඊටත් වැඩි කාලයක් තව තවත් තාක්ෂණ යුග පසු කරමින් ඉදිරියට යන බවයි.