2020 ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනයේ දී එලි දැක්වූ වේගා (Vega) මෝටර් රථය ඔබට මතක ඇති. එදා එම මෝටර් රථය ඉතිහාසයට එකතු වුණේ දකුණු ආසියාවේ පළමු සුපිරි මෝටර් රථය විදිහට. 2013 වර්ෂයේ දී නිර්මාණ කටයුතු ඇරඹී මෙය වසර 6කට අධික කාලයක් පුරාවට නිර්මාණය වුණේ ශ්‍රී ලාංකීය පාසල් සහ විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලැබූ ඉංජිනේරුවන්ගේ දායකත්වයෙන්.
සම්පූර්ණයෙන්ම බැටරි මගින් ක්‍රියාත්මක වන මේ විද්‍යුත් මෝටර් රථය ආසන දෙකකින් සමන්විත වන අතර එය අයත් වෙන්නේ අතින් නිමැවූ (handmade) මෝටර් රථ ගණයට. මෙහි ධාවනයට අවශ්‍ය බලය ලබා දෙන බැටරි පැකේජය නිර්මාණය කරලා තියෙන්නේ ලංකාව තුළදී. එමගින් මෝටර් රථයට එහි වේගය පැයට කිලෝ මීටර් 0 සිට 100 දක්වා වැඩි කරගන්න යන්නේ තත්පර 3.1 වැනි සුළු කාලයක්.
ඒ වගේම රථයට ආකර්ශනීය පෙනුමක් ලබා දෙන ඉදිරිපස හා පසුපස ලාමිපු ද ශ්‍රී ලංකාවේ නිශ්පාදනයන්. විදුලියෙන් ක්‍රියාත්මක වන මෝටර් රථ නිර්මාණයේදී සැලකිලිමත් වන ප්‍රධාන කරුණක් එහි බර හැකිතාක් අඩු කර ගැනීම. ඒ නිසාවෙන්ම වේගා EVX මෝටර් රථයේ බඳ නිර්මාණය කර ඇත්තේ කාබන් ෆයිබර් යොදාගෙන.



එක් වරක් සම්පූර්ණයෙන් බැටරි ආරෝපණය කිරීමෙන් පසු කිලෝ මීටර් 270ක් ගමන් කළ හැකි, පැයට කිලෝ මීටර් 260ක් දක්වා උපරිම වේගයක් ලබා ගත හැකි මේ සුපිරි මෝටර් රථය ඉදිරියේදී වෙළඳපොළට ඉදිරිපත් කිරීමේ දී, එක් වරක් ආරෝපණය කිරීමෙන් පසු ගමන් කළ හැකි උපරිම දුර කිලෝ මීටර් 750 දක්වාත්, උපරිම වේගය පැයට කිලෝ මීටර් 380 දක්වාත් වැඩි දියුණු කිරීමයි මෙහි සංවර්ධකයන්ගේ අපේක්ෂාව.
වේගා EVX සුපිරි මෝටර් රථය වෙළඳපොළට පැමිණි විට එය ස්වීඩනයේ Koenigsegg, ක්‍රොඒෂියාවේ Rimac, ඉතාලියේ Pagani වැනි ලෝකයේ අනෙකුත් අතින් නිමැවූ සුපිරි මෝටර් රථවලට තරගයක් වනු නො අනුමානයි.