Google Chrome ලොව අංක එකේ වෙබ් බ්‍රවුසරය බවට පත් කළ ඉන්දියානුවා

නමින් සුන්දර් පිචායි වන ඔහු උපත ලැබුවේ 1972 දීයි. ඒ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මදුරෙයි හි පහළ මධ්‍යම පාන්තික පවුලකට දාවයි. ඔහුගේ මව ස්ටෙනෝග්‍රැෆර්වරියක් වූ අතර පියා විදුලි ඉංජිනේරුවරයෙකි. Kharagpur විශ්වවිද්‍යාලයෙන් වෙතින් ලෝහ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිය ලබා ගත් ඔහු, ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් MS උපාධියක් සහ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ වෝර්ටන් පාසලෙන් MBA උපාධියක් හිමි කර ගත්තේය.

McKinsey සමාගමේ කළමනාකරණ උපදේශකයෙකු ලෙස සිය වෘත්තීය ගමන ආරම්භ කළ පිචායි Google සමාගම හා සම්බන්ධ වන්නේ 2004 වර්ෂයේ දීයි. ආරම්භයේදී එහි ප්‍රධාන ඉන්ජිනේරුවරයෙකු හා උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ ඔහු Google Toolbar සංවර්ධනයට මූලික වී කටයුතු කළේය. Internet Explorer සහ Firefox යන වෙබ් බ්‍රවුසර් හරහා Google සෙවුම් යන්ත්‍රයට පහසුවෙන් ප්‍රවේශ වීමට අවස්ථාව ලබා දීම මෙහි අරමුණ විය. කෙසේ වෙතත් මෙහි වූ සාර්ථකත්වය නිසා Google තමන්ගේම වෙබ් බ්‍රවුසරයක් නිර්මාණය කළ යුතු බව පිචායිගේ අදහස විය. ඔහු මේ පිළිබඳව සිය ජ්‍යෙෂ්ඨයන් සමඟ සාකච්ඡා කළත් බ්‍රවුසරයක් සංවර්ධනය කිරීම ඉතා මිල අධික කටයුත්තක් යැයි සිතූ එවකට Googleහි ප්‍රධාන විධායක නිලධාරීව සිටි Eric Schmidt ඊට විරෝධය පල කළේය. නමුත් පිචායි නොපසුබස්නා උත්සාහයක් ගෙන Google හි සම නිර්මාතෘවරුන් වන Larry Page සහ Sergey Brin හට මෙහි වැදගත්කම ඒත්තු ගැන්වීය. පිචායි විසින් ප්‍රධාන භූමිකාවක් ඉටු කරමින් 2008 වසරේදී Google Chrome වෙබ් බ්‍රවුසරය දියත් කරන්නේ එහි ප්‍රතිඵල වශයෙනි.

Google සෙවුම් යන්ත්‍රයට සෘජුවම ප්‍රවේශ වීමට ඇති හැකියාව නිසා Internet Explorer, Firefox වැනි තරඟකරුවන් අභිබවා ‍යමින් ලොව අංක එකේ බ්‍රවුසරය බවට Chrome පත් වූවා පමණක් නොව පිචායි ජාත්‍යන්තරව ප්‍රසිද්ධ චරිතයක් බවටත් පත්විය. Chrome OS, Chromebooks සහ Chromecast වැනි නිෂ්පාදන සඳහා මග විවර වූයේද Google Chrome හි අතිවිශිෂ්ට සාර්ථකත්වය නිසායි. කෙමෙන් කෙමෙන් වෘත්තීය ජීවිතයේ ඉදිරියට ගමන් මේ මිනිසා 2015 වසරේදී Google සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියා බවටත් 2019 දී එහි මව් සමාගම වන Alphabet හිද ප්‍රධාන විධායක නිළධාරියා බවට පත් වූයේ සිය ඉහළම සාර්ථකත්වය ළගා කරගනිමිනි.

පිචායි පවසන අන්දමට ඔහු තාක්ෂණික අංශයේ ලොව ප්‍රබලයෙක් වීම දක්වා පැමිණි මඟ එතරම් සුව පහසු එකක් නොවේ. නිවසට දුරකතනයක් ලැබෙන විට ඔහුගේ වයස අවුරුදු 12ක් වූ අතර නිවසේ තිබූ රූපවාහිනියේ ක්‍රියාත්මක වී ඇත්තේ ද එක් නාලිකාවක් පමණි. මේ නිසා ඔහු ලෝකය පිළිබඳ දැනුම ලබාගෙන ඇත්තේ පුවත්පත් සඟරා ආදිය කියවීම මගිනි. තවද ඔහුට තමාටම හිමි පරිගණකයක් භාවිත කිරීමට අවස්ථාව ලැබී තිබෙන්නේ ඇමෙරිකාවට පැමිණීමෙන් පසුවයි. උසස් අධ්‍යාපනය ලැබීමට ඇමරිකාවට ගිය ගමන සඳහා අවශ්‍ය ගුවන් ටිකට් පත මිලදී ගැනීමට සිය පියාගේ වසරක වැටුප අවශ්‍ය වූ බවත් පැවසේ.

ක්‍රමයෙන් සාර්ථකත්වයට පත් වූ පිචායිගේ සාර්ථකත්වයේ රහස ලෙස සැළකෙන්නේ ඔහු සතු දීර්ඝ මතක ශක්තියයි. විදෙස් මාධ්‍ය පවසන්නේ දුරකථන අංකයක් වරක් අංකනය කළ පමණින් ඔහුගේ මතකයේ රැදෙන බවයි. මෙම සුවිශේෂී හැකියාව තමන් මුහුණ දුන් විභාග ඉහළින් සමත් වීමට පිචායිට ප්‍රයෝජනවත් වී තිබේ.

සුන්දර් පිචායි සේවකයන් සමඟ ඉතා සුහදශීලීව කටයුතු කරන අතර මේ නිසා ඔහු ප්‍රසිද්ධ වී ඇත්තේ Nice Guy යන අන්වර්ථ නාමයෙනි. තවද ඔහු දයාබර සැමියෙකි. දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙකි. ඉන්දියාව වෙත ගෙන දුන් කීර්තිය සළකා 2022 වර්ෂයේදී ඉන්දීය රජය විසින් සිවිල් පුරවැසියෙකුට ලබා දෙන තුන්වන ඉහළම සම්මානය වන පද්ම භූෂණ සම්මානය සුන්දර් පිචායි හට ප්‍රදානය කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *