මීට වසර 2000 කට පමණ පෙර වර්තමාන අයර්ලන්තය, එක්සත් රාජධානිය සහ ප්‍රංශයේ උතුරු ප්‍රදේශ වල වාසය කළ කෙල්ට්වරු (Celts) සිය නව වසර සැමරුවේ නොවැම්බර් පළමු වැනිදා. අස්වැන්න නෙළා අවසන් කිරීම, ගිම්හාන ඍතුවේ අවසානය සහ ශීත ඍතුවේ ආරම්භය මේ දිනයෙන් සනිටුහන් වුණා. කෙල්ට්වරු මේ උත්සවය හැදින්වූයේ Samhain ලෙස. නමුත් එය උච්චාරණය කළේ sow-in කියලා.
අලුත් අවුරුද්දට පෙර දින (ඔක්තෝබර් 31) රාත්‍රියේ ජීවත්වන අපේ ලෝකය සහ මළවුන්ගේ ලෝකය අතර මායිම සිහින් වෙන බවත් සහ එවිට මළවුන්ගේ අවතාර නැවත පෘථිවියට පැමිණෙන බවත් ඔවුන් විශ්වාස කළා. කෙල්ට්වරු සිතුවේ වගාවන්ට හානි කිරීමට අමතරව මළවුන්ගේ පැමිණීම කෙල්ටික් පූජකයන්ට අනාගතය ගැන අනාවැකි පළ කිරීම පහසු කරවනවා බවයි. ඔවුන් මෙම සිදුවීම සැමරුවේ කෙල්ටික් දෙවිවරුන්ට පූජා ලෙස විශාල ගිනිමැල ගසා සිය වගාවෙන් කොටසක් පුළුස්සමින්. සත්ත්ව බිලි පූජා පවත්වමින්. කෙල්ට්වරු ඊට සහභාගී වුණේ සත්ව හිස් සහ හම් වලින් සමන්විත ඇඳුම් ඇඳගෙන.
ගිනිමැල වල ආලෝකයට කෘමීන් ඇදී ආ අතර ඒ කෘමි සතුන් ආහාරයට ගැනීමට වවුලන් විශාල වශයෙන් පැමිණියා. වර්තමාන හැලොවීන් උත්සවයේදී වවුලන්ට විශේෂ තැනක් හමු වුණේ මේ සිදු වීමෙන්.
ක්‍රි.ව. 43 වන විට රෝම අධිරාජ්‍යය විසින් කෙල්ටික් ප්‍රදේශ බහුතරයක් යටත් කර ගැනීමත් සමඟ Samhain උත්සවයට රෝම සංස්කෘතිකාංගත් ටික ටික එකතු වුණා. හැලොවීන් දිනයේ කරන Apple bobbing ක්‍රීඩාව ඊට කදිම නිදසුනක්.
පසු කාලීනව 3 වන ග්‍රෙගරි පාප් වහන්සේ මැයි 13 සමරපු All Saints’ Day (සියලු සාන්තුවරුන්ගේ දිනය) නොවැම්බර් 1 දක්වා වෙනස් කළා. ඒ වගේම 9 වන සියවස වන විට ක්‍රිස්තියානි ධර්මයේ බලපෑම කෙල්ටික් රටවලට ව්‍යාප්ත වෙලා එය ක්‍රමයෙන් පැරණි කෙල්ටික් චාරිත්‍ර සමඟ මිශ්‍ර වී ප්‍රතිස්ථාපනය වීමේ ප්‍රතිඵලයක් විදිහට නොවැම්බර් 2 All Souls’ Day (සියලු ආත්මයන්ගේ දිනය) ලෙසත් නම් කළා.
නොවැම්බර් 1 All Saints’ Day යන්න All Hallows’ Day ලෙසත් හැදින් වූ නිසා ඊට පර දින ඔක්තෝබර් 31 සවස All Hallows’ Eve ලෙස නම් වුණා. All Hallows’ Eve යන්නයි අද වන විට Halloween බවට පත් වී තිබෙන්නේ.
හැලෝවීන් උත්සවය සැමරීමේදී යොදා ගන්න කැටයම් කරන ලද වට්ටක්කා ගෙඩිත් මෙහිදී අමතක කරන්න බැහැ. මේවා හඳුන්වන්නේ Jack O’ Lantern නමින්. ඊට පදනම් වෙලා තියෙන්නේ Stingy Jack නම් පුද්ගලයෙක් වටා ගෙතුන අයර්ලන්ත ජන කතාවක්.
වරක් ජැක් තැබෑරුමක මත්පැන් පානය කරමින් සිටියදී ඔහුගේ ආත්මය ලබා ගැනීමට යක්ෂයා පැමිණ තිබෙනවා. ජැක් යක්ෂයාගෙන් ඉල්ලා සිටින්නේ තමන්ට ගෙවීමට මුදල් නොමැති නිසා කාසියක් බවට පත් වන ලෙසයි. ඒ මුදල් ගෙවීමෙන් පසුව පැමිණීමේ පොරොන්දුව මත. නමුත් ජැක් කාසිය කුරුසයක් තිබූ සාක්කුවකට දා ගත්තා. මේ නිසා යක්ෂයාට සිය ස්වරූපයට පැමිණීමට නොහැකි වුණා. ජැක් යක්ෂයාව නිදහස් කළේ යළි වසරක් යන තුරු සිය ආත්මය ලබා ගැනීමට නොඑන බවට පොරොන්දු කර ගනිමින්.
යලි වසරකට පසු යක්ෂයා පැමිණියා. එවිට ජැක් යක්ෂයාට රසවත් පලතුරක් භුක්ති විඳීමට ගසකට නැගීමට ඒත්තු ගැන්වූවා. යක්ෂයා ගසට නැඟුණු පසු ජැක් ගසේ කදේ කුරුස ලකුණ සටහන් කළා. ගසෙන් බැස ගැනීමට නොහැකිව යක්ෂයා ගසේ හිර වුණා. මෙවර ජැක් යක්ෂයාව නිදහස් කළේ තවත් වසර දහයක් යන තුරු සිය ආත්මය ලබා ගැනීමට නොඑන බවට පොරොන්දු කර ගනිමින්.
මේ අතරතුර ජැක් මිය ගියා. ඔහු ගත කළේ යහපත් ජීවිතයක් නොවන නිසා ස්වර්ගයට යාමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ වගේම යක්ෂයා ඔහුව අපායට නොගන්නා බවටත් පොරොන්දු වී සිටි නිසා අපායට ගැනීමත් ප්‍රතික්ෂේප වුණා. යක්ෂයා ජැක්ට මාර්ගය ආලෝකමත් කර ගැනීමට දැල් වූ ගල් අගුරු ගුලියක් ලබා දී පිටත් කළේ සදකාලිකවම අන්ධකාරයේ සැරිසැරීමටයි. ජැක් ගල් අගුරු රැගෙන ගියේ අභ්‍යන්තරය හාරා කැටයම් කොට සකස් කරගත් ටර්නිප් (turnip) අලයක් තුළයි. එදා පටන් ඔහු මෙයත් රැගෙන ලෝකය පුරා සැරිසරන බවටයි විශ්වාස කෙරෙන්නේ. මුලදී Jack of the Lantern ලෙස හැඳින්වුන මෙයයි අද Jack O’ Lantern නමින් හඳුන්වන්නේ.
පසු කාලීන ජනතාව Jack O’ Lantern නිර්මාණය කිරීමට ටර්නිප්, අර්තාපල්, බීට් භාවිත කළත් ඇමරිකානුවන් මෙය නිර්මාණයට වට්ටක්කා යොදා ගැනීම පහසු බව වටහා ගැනීමත් සමඟයි අද වන විට හැලෝවීන් උත්සවයේ නැතිවම බැරි අංගයක් බවට කැටයම් කළ වට්ටක්කා පත් වී තිබෙන්නේ.
ශ්‍රී ලංකාව තුළ කැපී පෙනෙන ආකාරයට සමරන්නේ නැති වූවත් කාලයත් සමඟ හැලෝවීන් සාද, හැලෝවීන් චිත්‍රපට ආදී විවිධ නව අංගයන් එකතු වෙමින් ලෝකය පුරා රටවල් වල මහත් උත්කර්ෂයෙන් සැමරෙන හැලෝවීන් උත්සවය ඉදිරි කාලයේදී කවර ආකාරයට වෙනස් වේවිද යන්න අපි බලා සිටිමු.