අලුත් අවුරුද්දේ හිතවත්කම් වැඩි කරන නෑගම් යෑම

අලුත් අවුරුද්දේ හිතවත්කම් වැඩි කරන නෑගම් යෑම

“නෑ හේත්තුවේ යෑම”, “අවුරුදු නෑ ගම් යෑම”, “බක්මහ නෑ ගම් යෑම” කියලා හඳුන්වන්නේ සිංහල අවුරුදු චාරිත්‍ර අතර ප්‍රධාන තැනක් හිමි වෙන අවුරුද්දට නෑගම් යාම. අද ඇතැම් අය අතරින් ගිලිහිලා තිබුණත් එදා මේ චාරිත්‍රය අපේ මුතුන්මිත්තන් ඉටු කළේ ඉතා ඕනෑකමින්. එය කෙසේ වුණත් මේ චාරිත්‍රය ඉදිරි පරම්පරාව වෙනුවෙන් රැක ගැනීම අපේ වගකීමක්. ඒ නිසා අවුරුද්දට නෑගම් යාමේ චාරිත්‍රය එදා පරපුර කොයි ආකාරයටද ඉටු කළේ සහ අද වනවිට එහි තත්ත්වය කොයි ආකාරයෙන් ද යන්න ගැනයි අද අලුත් අවුරුද්ද දවසේ මේ විමසා බලන්නේ.

අවුරුද්දට නෑ ගම් යාමේ චාරිත්‍රය “පෙර අවුරුදු නෑගම් යෑම” සහ “පසු අවුරුදු නෑ ගමන් යෑම” යනුවෙන් පිළිවෙත් දෙකකින් හඳුනා ගන්න පුළුවන්. සිංහල අවුරුද්දට පෙර නෑයින් බැහැදැකීමට ‍යනවා නම් එය හඳුන්වන්නේ “පෙර අවුරුදු නෑ ගමන් යාම” කියලා. පෙර අවුරුදු නෑගම් යන්නේ දුර බැහැර සිටින ඥාතීන්ගේ නිවෙස් වලට. ළඟ සිටින ඥාතීන් බලන්නට යන්නේ අවුරුද්දෙන් පසුව නිසා එය හඳුන්වන්නේ “පසු අවුරුදු නෑගම් යාම” යනුවෙන්.

නෑගම් යාමේ මූලිකම අරමුණ හතර පේරුවේ නෑදෑයින් ළඟට ගොස් ඔවුන් සමග ඇයි හොඳයිකම් වැඩි දියුණු කර ගැනීම. එදා මේ චාරිත්‍රය ඉටු කිරීමේදී නිවසේ සාදාගත් කැවිලි පෙට්ටියක් සුදු රෙද්දකින් වසාගෙනයි රැගෙන යනු ලැබුවේ. ඊට අමතරව තමන් යන නිවසේ සිටින්නේ කොයි වගේ අයද කියා බලා ඒ අයට ගැළපෙන ආකාරයට, විශේෂයෙන් දරුවකු ලැබෙන්න සිටින මවක් ඒ නිවසේ සිටින්නේ නම් ඇය කැමති විදිහේ ආහාර සකස් කර ගෙන යාම සිදු කරනවා. ඒත් පොදුවේ ගෙනියන්නේ නිවසේ සාදාගත් කැවිලි පෙට්ටියයි. ඊට අමතරව අලුත් භෝග වර්ග, නෙළාගත් අස්වැන්නෙන් කොටසක්, බීජ ඇට වර්ග යම් ප්‍රමාණයක් ද ගෙනයෑම සිරිතයි. මෙහිදී තමන්ට ලැබී තිබෙන භවභෝග අන් අයටද බෙදා දෙමින් පරිභෝජනය කිරීමේ සිතුවිල්ල ඇතිවයි එය සිදු කරන්නේ.

ඊට අමතරව අනිවාර්යයෙන්ම ගෙන යන දෙය තමයි “බුලත් අත”. බුලත් අත සමඟ තැගි භෝග ද රැගෙන ඥාතින්ගේ නිවසට ගිය උදවිය මුලින්ම කරන්නේ බුලත් අත පිරිනැමීම. එහිදී “අවුරුද්දේ කතා කරන්නයි ආවේ. දැනුවත් හරි නොදැනුවත් හරි වරදක් වුණා නම් සමාවෙන්න” යැයි ඉල්ලමින් බුලත් අත දී වැදීම සිදු කරනවා. තමන් ගෙන යන කැවිලි පෙවිලි ඇතුළු අනෙකුත් තෑගි භෝග දෙනු ලබන්නේ ඉන් අනතුරුව. බුලත් අත දී කතා කිරීම කුඩා දරුවාගේ සිට වැඩිහිටි අය දක්වාම කළ යුතු අතර බුලත් අත ගැනීමේදී එය භාර ගත යුත්තේ නැගී සිටයි.

තෑගි භෝග දීමේදී සිදු වූ තවත් විශේෂ දෙයක් තමයි මල්වර වූ දියණියන්ට හෝ මල්වර වීමට ආසන්න දියණියන්ට විශේෂ තෑග්ගක් ලෙස කැටයක් පිරිනැමීම. මෙයින් හුරු කරන්නේ අනාගතයේ ගෘහණියන් වීමට සූදානමින් සිටින මේ දැරිවියන්ට ඉතුරු කිරීමට පුරුදු කිරීමයි.

මේ ආකාරයට එදා සිදු වූ අවුරුදු නෑ ගම් යෑම අද සිදුවනවාද? පැරණි දේ අගයන පැරණි සිරිත් අනුගමනය කරන අය අතින් පමණක් අද මේ චාරිත්‍රය ඉටු වුණත් බොහෝ දෙනා අතරින් මේ චාරිත්‍රය ගිලිහී ගොස් ඇති බවයි පෙනී යන්නේ. බොහෝ වෙලාවට අවුරුද්දෙන් පසුව ඥාතියකුගේ නිවසට ගොඩ වැදුණත් අද යන්නේ එදා වගේ තමන්ගේ නිවසේ සෑදු කැවිලි පෙට්ටිය වෙනුවට වෙළඳ පොළෙන් මිලට ගත් ගත් බිස්කට් පැකට් එකක්, කේක් පෙට්ටියක්, එහෙම නැත්නම් ලස්සනට වට්ටියක දා සෙලෝපින් කවරයකින් එතූ කැවිලි පාර්සලයක් අරගෙන.

සංස්කෘතික මංගල්‍යයක සුවශේෂී වූ චාරිත්‍රයක් ඉටු කරද්දි ඔබ නිවසට ගෙන යන දේ තුළ සංස්කෘතික භාවයක් තිබිය යුතුයි. පදනමක්, හරයක් තිබිය යුතුයි. ඒත් අද දෙන තෑගි වලින් මේ සංස්කෘතික භාවයත්, පදනමත් ගිලිහී ගොස් ඇති බවයි පෙනී යන්නේ.

ඇතැම් පවුල්වලින් නෑගම් යාමේ සිරිත පවා ගිලිහිලා තිබෙනවා. අධික කාර්ය බහුල ජීවිතයක් ගත කිරීම නිසා නෑගම් යාමට වේලාවක් සොයා ගැනීමට ඇති අපහසුතාව තමයි ඊට මූලිකම හේතුව. ඒත් මේ චාරිත්‍රය අපි අපේ ජිවිතයෙන් ඈත් කළ යුතු චාරිත්‍රයක් නොවන බව සිතේ තබාගත යුතුයි. එදා පටන් අපේ මුතුන්මිත්තන් අපට රැකදුන් සියලු සිරිත් අනාගත පරම්පරාව වෙනුවෙන්ද ඒ ආකාරයෙන්ම රැක දීම අපේ යුතුකමක්.

(ජනශ්‍රැති පර්යේෂක මහින්ද කුමාර දළුපොත මහතාගේ ලිපියක් ඇසුරෙණි.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *