1972 වසරේ Apollo 17 මෙහෙයුමෙන් අඩසියවසකට පසු ප්‍රථම වරට සඳ ගවේෂණ චාරිකාවක් සඳහා Artemis II යානය අද ගමන් ආරම්භ කළා. ඒ ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (අප්‍රේල් 02) අලුයම 4.00ට පමණ ෆ්ලොරිඩාවේ කේප් කැනවරල්හි පිහිටි කෙනඩි අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙන්. මෙය චීනයට පෙර නැවතත් සඳ මතුපිටට මිනිසුන් ගොඩ බැස්වීමට ඇමරිකාවේ NASA ආයතනයට ඇති සැලසුමේ අතිශය තීරණාත්මක පියවරක් ලෙස හැදින්වෙනවා.
Artemis II මෙහෙයුම සමඟ එක්ව සිටින්නේ ඇමෙරිකානු ජාතික Reid Wiseman, Victor Glover, Christina Koch සහ කැනේඩියානු ජාතික Jeremy Hansen යන ගගනගාමීන් සිව්දෙනා. ඔවුන් මෙම මෙහෙයුමේදී චන්ද්‍රයා කරා ගමන් කොට චන්ද්‍රයා වටා කක්ෂ ගත වී නැවතත් පෘථිවිය වෙත පැමිණීමට නියමිත අතර සම්පූර්ණ මෙහෙයුමට දින 10ක් පමණ ගත වන බවයි සඳහන් වන්නේ.
මෙවර මිනිසුන් සඳ මතුපිටට ගොඩ බැසීමක් සිදු නොකිරීමට හේතු වී තිබෙන්නේ සඳ මතුපිටට ගොඩ බැසීමට අවශ්‍ය වන lunar lander නම් යානය තවදුරටත් නිර්මාණය කරමින් පැවතීම. එය නිර්මාණය කිරීමෙන් පසුව 2028 දී මිනිසුන් සඳ මත ගොඩ බැස්වීමත්, ඉන් නොනැවතී සඳ මත මිනිස් ජනාවාසයක් ඇති කිරීමත් මේ වන විට NASA ආයතනයේ අපේක්ෂාව වී තිබෙනවා. එහි සාර්ථකත්වය මත පදනම් වී ඔවුන් අගහරු කරා යාම පිළිබඳව සැලසුම් කරනු ඇති.
මීට පෙර අවස්ථාවේ චන්ද්‍ර වැඩසටහන Apollo ලෙස නම් කළ NASA ආයතනය මෙවර වැඩසටහන නම් කර තිබෙන්නේ Artemis විදිහට. ඊට හේතු වී තිබෙන්නේ ග්‍රීක දේව කතා සාහිත්‍යය අනුව Artemis යනු Apolloගේ නිවුන් සහෝදරිය වීම.