කොළඹ සිට කිලෝ මීටර් 15 පමණ දුරින් නුගේගොඩ ගංගොඩවිල පිහිටා ඇති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දීර්ඝ හා කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියයි. එය ශ්‍රී ලංකාවේ දෙවන පැරණිතම විශ්වවිද්‍යාලය වන අතර නිදහස් ශ්‍රී ලංකාවේ ස්ථාපිත ප්‍රථම විශ්වවිද්‍යාලය වේ. මෙහි මූලාරම්භය සිදු වූයේ 1873 දී පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් විසින් මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන ආරම්භ කිරීමත් සමඟයි.
මුලදී ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දීම සිදු වූයේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණි. මේ නිසා සිංහල සහ දෙමළ භාෂාවලින් අධ්‍යාපනය ලැබූ අයට පැහැදිලි සීමාවන් තිබුණි. කෙසේ වෙතත්, විශ්වවිද්‍යාල ප්‍රවේශ මට්ටම දක්වා සියලුම පාසල්වල ඉගැන්වීමේ මාධ්‍යය ලෙස ජාතික භාෂා හඳුන්වාදීමත් සමඟ මුළු රටටම තනි විශ්වවිද්‍යාලයක් පමණක් ක්‍රියාත්මක වීම සහ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ඉගැන්වීම් සිදු කිරීම තවදුරටත් කළ නොහැකි විය. එම නිසා ශ්‍රී ලංකාව තුළ තෘතීයික මට්ටමේ අධ්‍යාපනයට ඇති ප්‍රවේශය පුළුල් කිරීමට ක්‍රම සහ විධි සෙවීමට රජයට සිදු විය. ඒ අනුව 1956 දී, ජාතික භාෂා සහ සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රතිපත්තියට අනුකූලව, විද්‍යෝදය සහ විද්‍යාලංකාර පිරිවෙන්වලට විශ්වවිද්‍යාල තත්ත්වය ප්රදානය කරමින් නව විශ්වවිද්‍යාල දෙකක් පිහිටුවීමට තීරණය කරන ලදී.
1958 අංක 45 දරන විද්‍යෝදය හා විද්‍යාලංකාර විශ්වවිද්‍යාල පනත මගින් ස්ථාපනය කළ විද්‍යෝදය විශ්ව විද්‍යාලය 1959 පෙබරවාරි 18 වන දින ආරම්භ විය. එවකට විද්‍යෝදය පිරිවෙනේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ පූජ්‍ය වැලිවිටියේ සෝරත හිමියන් විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ පළමු උපකුලපතිවරයා ලෙස පත් කෙරුණි. විශ්වවිද්‍යාලය එහි අධ්‍යයන කටයුතු ආරම්භ කළේ බෞද්ධ අධ්‍යයන, දර්ශනය, භාෂා, කලා සහ ආයුර්වේද සහ විද්‍යා යන පීඨ පහ සමඟිනි. ඊට ඇතුළත් වීම පිරිමින්ට පමණක් සීමා වූ අතර ආරම්භක ශිෂ්‍ය ජනගහනය ප්‍රධාන වශයෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් සමන්විත විය.
නමුත් මාලිගාකන්ද සහ ඒ අවට පරිශ්‍රයන්හි යටිතල පහසුකම් නවීන විශ්වවිද්‍යාලයක අවශ්‍යතා සපුරාලීමට බෙහෙවින් ප්‍රමාණවත් නොවන බව විශ්වවිද්‍යාල බලධාරීන්ට වැටහීමට වැඩි කාලයක් ගත නොවීය. ඒ අනුව විශ්වවිද්‍යාලය පිහිටුවීමට ගංගොඩවිල ප්‍රදේශයේ හයිලෙවල් මාර්ගයේ සිට ඇවිද යා හැකි දුරින් පිහිටි ස්ථානයක් තෝරා ගැනුණි. එහි කොටසක් හයවන පරාක්‍රමබාහු රජු (1412 – 1467) හා සම්බන්ධ ඒ ආසන්නයේ පිහිටි සුනේත්‍රාදේවි පිරිවෙනට අයත් විය. විශ්වවිද්‍යාලය එම නව ස්ථානයට මාරු කිරීම 1961 නොවැම්බර් 22 දින සිදු කරන ලදී.
1966 අංක 20 දරන උසස් අධ්‍යාපන පනත බලාත්මක කිරීමත් සමඟ විශ්වවිද්‍යාල ප්‍රවේශය ශිෂ්‍යාවන්ටද විවෘත විය. තවද උපකුලපති තනතුර තවදුරටත් භික්ෂූන් වහන්සේලාට පමණක් සීමා නොවූ අතර සියලුම අධ්‍යයන හා පරිපාලන පත්වීම්ලාභීන් අලුතින් නිර්මාණය කරන ලද ජාතික උසස් අධ්‍යාපන සභාව විසින් තීරණය කරන ලද නිර්ණායක සපුරාලිය යුතු විය. මෙම නවීකරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස ඇතැම් පීඨ සහ අධ්‍යයනාංශ මෙන්ම අධ්‍යයන පාඨමාලාවන්ද ප්‍රතිව්‍යුහගත කරන ලදී.
1972 අංක 1 දරන ලංකා විශ්වවිද්‍යාල පනත මඟින් ශ්‍රී ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල තනි විශ්වවිද්‍යාලයක මණ්ඩප බවට පත් වීමත් සමඟ විද්‍යෝදය විශ්වවිද්‍යාලය විද්‍යෝදය මණ්ඩපය බවට පත් විය. නමුත් පසුව හදුන්වා දුන් 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත අනුව විද්‍යෝදය මණ්ඩපයට නැවතත් ස්වාධීන විශ්වවිද්‍යාලයක තත්ත්වය ලැබුණු අතර එය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලෙස නම් කරන ලදී .
අද වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අධ්‍යයන පීඨ 11 කින් සමන්විත වෙයි. ඒවා නම් මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨය, ව්‍යවහාරික විද්‍යා පීඨය, කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨය, වෛද්‍ය විද්‍යා පීඨය, පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය, තාක්ෂණ පීඨය, ඉංජිනේරු පීඨය, සම සෞඛ්‍ය විද්‍යා පීඨය, දන්ත වෛද්‍ය විද්‍යා පීඨය, නාගරික සහ ජලජ ජෛව සම්පත් පීඨය සහ පරිගණක පීඨය වේ. මේ අතරින් ඉංජිනේරු පීඨය මත්තේගොඩ ප්‍රදේශයේත්, තාක්ෂණ පීඨය හෝමාගම පිටිපන ප්‍රදේශයේත් පිහිටා තිබේ. පීඨ 11 හැරුණු විට, මෙම විශ්වවිද්‍යාලය සතුව කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය (PIM) තිබේ. උසස් කළමනාකරණ අධ්‍යාපනය ලැබිමට අපේක්ෂා කරන පුද්ගලයින්ට තම වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සේවා සපයන්නා වූ අත්‍යවශ්‍ය සම්පතක් ලෙස මෙම ආයතනය සැලකිය හැකිය. මේ වන විට ශ්‍රී ජයර්වධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයන් 16,000 කට අධික සංඛ්‍යාවක් සහ පශ්චාත් උපාධි සිසුන් 3500 කට අධික සංඛ්‍යාවක් අධ්‍යයන කටයුතුවල නිරත වන අතර මෙය ශිෂ්‍ය ජනගහනය අනුව ශ්‍රී ලංකාවේ විශාලතම විශ්වවිද්‍යාලය ලෙස සැලකේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පර්යේෂණ මධ්‍යස්ථාන 22කට අධික සංඛ්‍යාවකින් යුත් පර්යේෂණ සභාවක් සහ 15කට අධික පේටන්ට් බලපත්‍ර සහිත, 50කට අධික ව්‍යවසායකයින් සහ පාර්ශවකරුවන් සිටින නව නිපැයුම්, නවෝත්පාදන සහ ව්‍යාපාර නිර්මාණ කවුන්සිලයක් සමඟින් පර්යේෂණ හා නවෝත්පාදනයන් අතින්ද ඉදිරියෙන්ම සිටී. එමෙන්ම මෙම විශ්වවිද්‍යාලය බොහෝ ජාත්‍යන්තර අධ්‍යාපන ආයතන සමඟ සුහද සබඳතාවක් පවත්වා ගෙන යන අතර ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාල සමඟ අවබෝධතා ගිවිසුම් (MoUs) 60 කට අධික ප්‍රමාණයක් සහ ජාත්‍යන්තර සහ දේශීය සමාගම් සමඟ අවබෝධතා ගිවිසුම් 60කට අධික ප්‍රමාණයක් අත්සන් කර ඇත. මෙම හවුල්කාරිත්වයන් මගින් විශ්වවිද්‍යාලය තම සිසුන්ට ජාත්‍යන්තර අත්දැකීම් ලබා දීමට උත්සාහ කරන අතර, ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් සහ සීමාවාසික පුහුණුව ලබා දීම සිදු කරයි.
(ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය වෙබ් අඩවිය සහ වාර්ෂික වාර්තාව 2023 ඇසුරෙණි.)