අතීත රජ දවස ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය පදනම් වී තිබුණේ ප්‍රමුඛ පිරිවෙන් කිහිපයක් මත වූ අතර ඒවා බෞද්ධ භික්ෂූන් වහන්සේලා පුහුණු කිරීමේ මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක විය. නමුත් වර්ෂ 1815 දී ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම බ්‍රිතාන්‍යයේ යටත් විජිත පාලනයට නතු වීමෙන් පසුව මෙරට පුරා ඉංග්‍රීසි අධ්‍යාපනයේ පැතිරීම සිදු වුණි. 1857 දී කල්කටා, බොම්බේ, සහ මදුරාසි යන නගරවල විශ්වවිද්‍යාල තුනක් පිහිටුවමින් යුරෝපීය පන්නයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඉන්දියාවේ ආරම්භ වුවත්, ලංකාවේ යටත් විජිත පරිපාලනය එම ප්‍රතිලාභ ලංකා ජනතාවට ලබා දීමට ඉක්මන් නොවීය. මේ නිසා දිවයිනේ හොඳින් දියුණු වූ ද්විතීයික පාසල් පද්ධතියක් පැවතුණත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරීම සඳහා විදේශගත වීමට මෙරට පුරවැසියන්ට සිදු විය. නමුත් ඊට හැකියාව තිබුණේ ස්වල්ප දෙනෙකුට පමණි.
මෙරට තුළ තෘතීයික අධ්‍යාපනයේ පළමු විධිමත් පියවර තබමින් 1870 දී ලංකා වෛද්‍ය විද්‍යාලය ආරම්භ කළ අතර ඉන් පසුව කොළඹ නීති විද්‍යාලය (1875), කෘෂිකර්ම විද්‍යාලය (1884) සහ රජයේ කාර්මික විද්‍යාලය (1893) පිහිටුවන ලදී. කෙසේ වෙතත් ලංකා විශ්ව විද්‍යාලයක් සඳහා යෝජනාවක් 1884 තරම් ඈත කාලයකදී පටන් තිබූ නමුත් 19 වන සියවසේ අවසානය දක්වා මෙම යෝජනාව සම්බන්ධයෙන් ප්‍රගතියක් ලබා නොතිබුණි.
20 වන සියවසේ මුල් වසරවලදී මෙහි සැලකිය යුතු වර්ධනයක් සිදු වූයේ මහා බ්‍රිතාන්‍යය සහ වෙනත් විදේශීය රටවලින් උපාධි ලබා ගත් ලාංකිකයන් මෙරට තුළද විශ්වවිද්‍යාලයක් පිහිටුවා ලිය යුතු යැයි යටත් විජිත පාලකයන් වෙත ඉල්ලීම් ඉදිරිපත් කිරීමත් සමඟයි. ඔවුන් එක්ව 1906 දී ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම්ගේ නායකත්වය යටතේ ලංකා විශ්වවිද්‍යාල සංගමය නමින් සංවිධානයක් ද පිහිටුවා ගත් අතර එම සංගමයේ මුලපිරීම, බලපෑම සහ තිරසාර උනන්දුව කැපී පෙනුණි.
ඒ අනුව 1921 වර්ෂයේ දී ලංකාව සඳහා උසස් අධ්‍යාපන ආයතනයක් පිහිටුවා දීමට යටත් විජිත රජය කටයුතු කළේ ය. කොළඹ තර්ස්ටන් පාරේ (වර්තමාන මුනිදාස කුමාරතුංග මාවත) රෙජිනා වලව්වේ රජයේ ආයතනයක් ලෙස පිහිටුවන ලද ලංකා විශ්වවිද්‍යාල කොලීජිය (Ceylon University College) නම් වූ එම ආයතනය ස්වාධීන විශ්වවිද්‍යාලයක් නොව ලන්ඩන් විශ්වවිද්‍යාලය යටතේ පැවති අනුබද්ධිත ආයතනයක් විය. එහි ශාස්ත්‍ර (කලා) විෂයයන් මෙන්ම විද්‍යා විෂයයන් ද ඇතුළත් විය. ඉන් ප්‍රදානය කෙරුණු උපාධි ලන්ඩන් විශ්වවිද්‍යාලයේ උපාධි වූයේය.
වර්ෂ 1942 අංක 20 දරන ලංකා විශ්වවිද්‍යාල ආඥා පනත මගින් 1942 ජූලි පළමු වැනි දින ලංකා වෛද්‍ය විද්‍යාලය සහ ලංකා විශ්වවිද්‍යාල කොලීජිය එකතු කරමින් ලංකා විශ්වවිද්‍යාලය ස්ථාපිත කරන ලදී. මෙය ස්වාධීය ආයතනයක් විය. විශ්ව විද්‍යාල කොලීජියේ වූ කලා හා විද්‍යා අධ්‍යයනාංශ දෙක පීඨ බවට උසස් කළ අතර වෛද්‍ය විද්‍යාලය වෛද්‍ය පීඨය බවට පත් විය. නව පෙරදිග අධ්‍යයන පීඨයක් ආරම්භ කෙරුණි.
නමුත් පසුව ලංකා විශ්වවිද්‍යාලය පේරාදෙණියේ පිහිටුවීමට තීරණය විය. ඒ අනුව එහි ප්‍රධාන පියවර ලෙස 1952 දී කලා හා පෙරදිග අධ්‍යයන පීඨවල කාර්ය මණ්ඩලය, සිසුන්, ප්‍රධාන පුස්තකාලය සහ විශ්ව විද්‍යාල පරිපාලනය පේරාදෙණියට මාරු කිරීම සිදු විය. එය සම්පූර්ණ කරමින් 1952 ඔක්තෝබර් 6 වන දින පේරාදෙණියේ ලංකා විශ්ව විද්‍යාලය විධිමත් ස්ථාපිත කිරීම සනිටුහන් කළේය. එතැන් පටන් 1967 වන තෙක් එකම විශ්වවිද්‍යාලයේම මණ්ඩප ලෙස ලංකා විශ්ව විද්‍යාලය කොළඹ සහ පේරාදෙණියේ ක්‍රියාත්මක වුණි.
1942 දී කොළඹින් ආරම්භ වී 1952 දී පේරාදෙණියට පැමිණි විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පළමු අත්හදා බැලීම අතිමහත් සාර්ථකත්වයක් පෙන්නුම් කළේය. ඉදිරි වසරවලදී උසස් අධ්‍යාපනය සඳහා ඇති ඉල්ලුම වේගයෙන් වැඩි විය. 1959 දී විද්‍යෝදය සහ විද්‍යාලංකාර විශ්වවිද්‍යාල ආරම්භ කරන ලද නමුත් එය විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා ඇති වැඩි වූ ඉල්ලුම සපුරාලීමට සමත් නොවීය. එබැවින්, 1962 දී, පේරාදෙණිය ලංකා විශ්ව විද්‍යාලයේ කලා පීඨයට ඇතුළත් වූ සිසුන් 1000 කට අධික සංඛ්‍යාවකින් 692 දෙනෙකු බාහිර සිසුන් ලෙස ඇතුළත් කර ගන්නා ලදී; මන්ද ඔවුන්ට නේවාසික සහ පුස්තකාල පහසුකම් ලබා දිය නොහැකි වූ බැවිනි.
1965 දී පේරාදෙණියේ ඇති වූ ශිෂ්‍ය නොසන්සුන්තාවයෙන් පසුව, රජයේ විශ්ව විද්‍යාල පද්ධතිය ප්‍රතිසංවිධානය සඳහා වන සැලසුම් නිවේදනය කරන ලදී. 1966 අංක 20 දරන උසස් අධ්‍යාපන පනත අනුව කවුන්සිල වෙනුවට පාලක මණ්ඩල ඇති කෙරුණි. නව පනත යටතේ විශ්වවිද්‍යාල අධීක්ෂණය සහ නියාමනය කිරීම සඳහා ජාතික උසස් අධ්‍යාපන කවුන්සිලයක් (NCHE) පිහිට වූ අතර එතෙක් පැවති නිලවරණයක් මඟින් උපකුලපතිවරුන් තෝරා පත් කර ගැනීම වෙනුවට එම කවුන්සිලය මඟින් උපකුලපතිවරුන් පත් කිරීම ඇරඹුණි. 1967 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලය, පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලය ලෙසත් කොළඹ මණ්ඩපය, කොළඹ ලංකා විශ්ව විද්‍යාලය ලෙසත් වෙන වෙනම ස්වාධීන විශ්වවිද්‍යාල දෙකකට වෙන් කිරීම සිදු විය.
1970 දී බලයට පත් වූ රජය හදුන්වා දුන් 1972 අංක 1 දරන ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පනත මඟින් එතෙක් වෙන වෙනම පැවති පේරාදෙණිය, කොළඹ, විද්‍යෝදය සහ විද්‍යාලංකාර විශ්වවිද්‍යාල හතරත්, මොරටුව කටුබැද්දේ පිහිටි ලංකා තාක්ෂණ විද්‍යාලයත් කොළඹ මධ්‍යම පරිපාලනයක් සහිත ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය යන තනි විශ්වවිද්‍යාලයක මණ්ඩප පහක් බවට පත් විය. මණ්ඩපවල ප්‍රධානීන් මණ්ඩප සභාපතිවරුන් ලෙස නම් කරන ලද අතර අධ්‍යාපන අමාත්‍යවරයා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස පත් කළේය. මෙම මධ්‍යගත පාලන ක්‍රමය යටතේ NCHE සහ පාලක මණ්ඩල අහෝසි කෙරුණි. තවද මණ්ඩපවල සනාතන සභාවන්ට උපදේශක මණ්ඩල ලෙස සුළු භූමිකාවන් ලබා දෙන ලදී. මෙමඟින් විශ්වවිද්‍යාල සතුව පැවති ස්වාධීනත්වය දුර්වල විය. 1974 දී යාපනය මණ්ඩපයද ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට එකතු කෙරුණි.
ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පනත ප්‍රතිස්ථාපනය කරමින් 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත නමින් නව පනතක් ඉදිරිපත් කිරීමට 1977 දී බලයට පත් වූ නව රජය කටයුතු කළේය. 1979 ජනවාරි 1 වන දින සිට බලාත්මක වූ මෙම පනත තුළ ලංකා විශ්වවිද්‍යාල ආඥා පනතේ වූ කේන්ද්‍රීය ලක්ෂණ කිහිපයක් වෙනස්කම් සහිතව නැවත තිබෙනු දැකිය හැකිය. ඒ අනුව ලංකා විශ්වවිද්‍යාලයේ මණ්ඩප විසුරුවා හරින ලද ඒවා අතර කොළඹ, පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර (විද්‍යෝදය), කැළණිය (විද්‍යාලංකාර), මොරටුව හා යාපනය ලෙස ස්වාධීන විශ්වවිද්‍යාල 6ක් බවට පත් විය. සනාතන සභා සාමාජිකයන්ගේ බලතල නැවත ලබා දීම, කවුන්සිල නැවත ස්ථාපිත කිරීම සහ උපකුලපති තනතුරු සඳහා නිලවරණ නැවත හඳුන්වා දීම ද නව පනත මඟින් සිදු වුණි.
මෙම පනත මඟින් විශ්වවිද්‍යාලවල ස්වාධීනත්වය ප්‍රතිෂ්ඨාපනය කරන ලද නමුත් සාම්ප්‍රදායිකව එවැනි ආයතන සතු වූ බලතලවලට වඩා පුළුල් බලතල සහිත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවක් (UGC) ඇති කළේය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය සැලසුම් කිරීම සහ සම්බන්ධීකරණය, උසස් අධ්‍යාපන ආයතන (HEIs) සඳහා අරමුදල් වෙන් කිරීම, අධ්‍යාපනයේ ප්‍රමිතීන් පවත්වා ගෙන යාම, උසස් අධ්‍යාපන ආයතනයන් හි පරිපාලනය නියාමනය කිරීම හා උසස් අධ්‍යාපන ආයතන සඳහා සිසුන් ඇතුළත් කිරීම නියාමනය මෙම කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යයන් වේ.
අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතා 1980 ගණන්වල මෙරට උසස් අධ්‍යාපනය සංවර්ධනය කිරීම සඳහා කැපීපෙනෙන ලෙස මුල පිරූ අතර, ඔහු විසින් පිහිටුවන ලද මහපොළ අරමුදල අද දක්වාම උසස් අධ්‍යාපනය ලබන සිසුන්ට මූල්‍යාධාර සපයයි.
අද වන විට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ විෂය පථය යටතේ පිහිටුවා ඇති විශ්වවිද්‍යාල ගණන 17කි. ඒවා නම්;
- කොළඹ විශ්වවිද්‍යාලය
- පේරාදෙණිය විශ්වවිද්‍යාලය
- ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
- කැලණිය විශ්වවිද්‍යාලය
- මොරටුව විශ්වවිද්‍යාලය
- යාපනය විශ්වවිද්‍යාලය
- රුහුණ විශ්වවිද්‍යාලය
- නැගෙනහිර විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව
- ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය
- ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය
- ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය
- ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය
- ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය
- සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය
- ගම්පහ විකුමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව
- වවුනියා විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව
- ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
වර්ෂ 1999 දී විශ්වවිද්‍යාල පනතට සංශෝධන සිදු කරන තුරු උපාධි ප්‍රදානය කිරීමට ඉඩ දී තිබුණේ රාජ්‍ය විශ්වවිද්‍යාලයන්ට පමණි. නමුත් පනතේ සිදු කරන ලද වෙනස්කම් සමඟ මෑත වර්ෂවලදී ආයතන කිහිපයකට උපාධි ප්‍රදානය කිරීම සඳහා අවසර ලබා දී ඇත.
(කොළඹ විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යන ආයතනවල වෙබ් අඩවි සහ සම්මානිත මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාසගේ ලිපියක් ඇසුරෙණි.)