සිංහල දෙමළ අලුත් අවුරුද්ද ගැන කතා කරද්දී අමතක කරන්න බැරි තරමට අලුත් අවුරුද්ද එක්ක බද්ධ වෙලා තියෙන දෙයක් තමයි අවුරුදු කෑම මේසයේ තිබෙන කැවිලි. ලොකු කුඩා කවුරුත් කැමති, අවුරුදු කෑම මේසයේ හමුවෙන කැවිලි වර්ග ගැනයි මේ සටහන.
කැවිලි අතර කැවුම් වලට හිමි වෙන්නේ විශේෂ ස්ථානයක්. මුං පිටිවලින් සාදා පිටි තවරා තෙලේ බැදගන්නා කිරිබත් හැඩැති කැවිලි විශේෂය හඳුන්වන්නේ මුං කැවුම්/ මුං කැරලි විදිහට. නමුත් ඒ මිශ්‍රණයම ගුලිකර පිටි දවටා ගැඹුරු තෙලේ බැදගත් විට මුං ගුලි බවට පත් වෙනවා. මුං ගුලි වලට අමතරව තවත් ගුලි වර්ගයක් අවුරුදු කෑම මේසයේ හමුවෙනවා. ඒ තමයි මැදට පැණි පොල් දමා වටේට පිටි දවටා ගැඹුරු තෙලේ බැදගන්නා නාරං කැවුම්. කොණ්ඩය තිබෙන්නේ කොණ්ඩ කැවුම් වල. නමුත් හැඳි කැවුම් සහ අතිරස දෙවර්ගයේ කොණ්ඩය නැහැ. කෙසේ වෙතත් මේ කැවුම් වර්ග වල නම් ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙන අවස්ථා දැක ගන්න පුළුවන්. පුරාණයේ පැවති කැවුම් වර්ග 18ක් ගැන සඳහන් වෙනවා. මීට අමතරව ‘මුකුදු’ යනුවෙන් හඳුන්වන වලස්මුල්ලට ආවේණික වූ කැවුම් වර්ගයක් ද තිබෙනවා.
අවුරුදු කෑම මේසයේ අනෙකුත් කැවිලි අතර ආස්මි, අලුවා, කොකිස්, වැලිතලප, පැණි වළලු, උඩ බැලුම්, දොදොල් ආදී කැවිලි වර්ග වෙනවා. මේ අතරින් කොකිස් හා දොදොල් යුරෝපීයයන්ගෙන් මේ රටට ලැබුණු බවට සළකනවා. අතීතයේදී කැවිලි සෑදීමට භාවිත කළේ නිවසේ පොල් ගසෙන් කඩාගත් ගෙඩිවලින් නිවසේදීම සිඳගත් තෙල්. එමෙන්ම පැණි ලබා ගත්තේ කිතුල් මලක් මැද ගැනීමෙන්. මීට අමතරව පොල් පැණි සහ බඹර පැණි ද කැවිලිවලට යොදා ගෙන තිබෙනවා. කැවිලි වල රසකාරක වූයේ කුරුඳු පොතු, ගම්මිරිස්, රම්පේ, කරපිංචා, එනසාල් ආදිය. නමුත් අද වන විට කැවිලි සෑදීමට සීනි උණුකර පැණි සාදා ගැනීම මෙන්ම රසකාරක ලෙස කෘත්‍රිම රසකාරක භාවිත කිරීම සුලබ වෙමින් පවතින ස්වභාවයක් දකින්න පුළුවන්.
අද වන විට අලුත් අවුරුද්දට නිවසේ කැවිලි සෑදීම අඩු වී ඇති බවයි පෙනී යන්නේ. ගම්බද ප්‍රදේශ වල කැවිලි වර්ග සෑදුණත් බොහෝ විට නාගරික නිවෙස්වල කැවිලි මිලදී ගන්නේ කඩයෙන්. කාර්ය බහුල ජීවන රටාව මෙන්ම කැවිලි සාදන ආකාරය නොදැන සිටීමත් ඊට හේතු වී තිබෙනවා. නමුත් එදා පැරැන්නෝ කැවිලි නොසෑදීම හෝ කැවිලි සෑදීමට නොදැන සිටීම මදි පුංචිකමක් ලෙසයි සැළකුවේ. කැවුමක කොණ්ඩය ගැනීමට ඇති හැකියාව මහත් සමත්කමක් ලෙස ගැමි කාන්තාවන් අතර විශ්වාසයක් ද වූවා.
අතීත සිංහල යුධ භටයන්ගේ මඩිස්සලයේ කැවුමක් තිබූ බවට ප්‍රවාදයක් පවතිනවා. ඊට හේතු වී තිබෙන්නේ පැණි හා පිටි මිශ්‍ර කර සාදා ගන්නා කැවුම් පෝෂණ ගුණයෙන් ඉහළ නිසා කුසගිනි දැනුණු විට එය නිවා ගැනීමට කැවුමක් ආහාරයට ගැනීමෙන් හැකි බවට වූ මතයයි. දෙවන රාජසිංහ රජ දවස උඩරට සිරකරුවෙක්ව සිටි රොබට් නොක්ස් රචනා කළ ‘An Historical Relation of the Island Ceylon’ නම් කෘතියේද මෙරට කැවිලි පිළිබඳව සඳහන් කර තිබෙනවා. එම කෘතියේ සිංහල අනුවාදය වන ‘එදා හෙළදිව’ ග්‍රන්ථයට ඩේවිඩ් කරුණාරත්නයන් මේ ගැන පරිවර්තනය කළේ මෙන්න මේ විදිහට.
“ඔවුන්ගේ රස කැවිලි විවිධ ය. ඒ රස කැවිලි අතර ප්‍රධානත්වයක් ගන්නා කැවුම් සහල් පිටියෙන් හා පැණියෙන් සාදා ගනු ලැබේ. සහල් පිටි අනා ගුළි ගසා කොළපතක තබා ඇඟිල්ලෙන් පැතලි කොට පැහෙන තෙල් ඇතිලියේ බහා පදමට කර වූ පසු තෙලෙන් එළියට ගනිති. ඕලන්දක්කාරයන් පළමු කොට ලක්දිවට පැමිණි අවධියේ, ඔවුන් හට රාජකීය සංග්‍රහයක් කරනු කැමති වූ කන්දේ රජු, ඔවුන්ට කැවුම් පිස යවන ලෙස රාජ පුරුෂයන් හට නියම කෙළේ ය. එම කැවුම් කා පුදුමයට පත් වූ ලන්දේසීහු, එපමණ ප්‍රණීත ආහාරයක් මිනිස් අතකින් නම් සෑදිය නොහැකි යයි සිතා ” මේවා ගස්වලින් කඩා ගන්නා දෙයක් දැ?” යි ඇසුවෝ ල !”
තවදුරටත් එහි සඳහන් වන්නේ බැදි හාල් පිටි පැණියෙන් අනා ගම්මිරිස්, කරදමුංගු හා කුරුඳු පොතු මද වශයෙන් මිශ්‍ර කර ගුලි ආකාරයට අග්ගලා සාදා ගන්නා බවයි. අග්ගලා ආකාරයටම සාදා ගන්නා නමුත් අලුවා පැතළි බව ද නොක්ස් පවසනවා.
කෙසේ වෙතත් මෙරට කැවිලි වලට තිබෙන්නේ දීර්ඝ ඉතිහාසයක්. දුටුගැමුණු රජතුමා කරවූ රුවන්මැලි සෑයේ වැඩ කළ සේවකයන් හට සංග්‍රහය සඳහා අතුරු පසට කැවුම් තිබුණු බව ථූපවංසය කීම, ධාන්‍ය වර්ග බැද කුඩු කොට සාදා ගන්නා ආහාරයක් අත්සුණු නමින් පැරණි පොත්වල හඳුන්වා දී තිබීම, භික්ෂූන් වහන්සේ කෙනෙකු හට අතුරුපසක් ලෙස තල පූජා කිරීමක් ගැන තෝණිගල සෙල්ලිපියේ ඇතුළත් වීම, තිල සංගුලිකා නම් ආහාරයක් ගැන (තල ගුලි විය හැකියි) දම්පියා අටුවා ගැටපදයේ සඳහන් වීම මෙන්ම හෝපිටිගම සෙල්ලිපියේ සඳහන් රාජකීය වට්ටෝරුවේ රජ ගෙදර කැවුම් ගැන කියා තිබීමද ඊට සාක්ෂි සපයනවා.