මහින්දාගමනයෙන් අප ලද දායාද

මහින්දාගමනය සිදු වුණේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236 කට පසුව එනම්, දෙවන පෑතිස් රජතුමාගේ පළමු රාජ්‍ය වර්ෂයේ යෙදී තිබූ පොහොන් පොහෝ දා බවටයි සැලකෙන්නේ. එදා මිහිඳු මාහිමියන් ඇතුළු පිරිස මෙරටට ගෙන ආ බුද්ධ ධර්මය සහ බෞද්ධ සංස්කෘතිය මෙරට ජන සමාජය, රාජ්‍ය පාලනය, ආර්ථිකය, අධ්‍යාපනය, භාෂාව, සාහිත්‍යය, කලා ශිල්ප, සිරිත් විරිත්, ඇදහිලි, පුද පූජා, විශ්වාස, සාරධර්ම ආදී සංස්කෘතියේ සෑම අංගයකම පෝෂණයට හේතු වූ බව අවිවාදාත්මක කාරණයක්.

මහින්දාගමනයෙන් කෙටි කලක් යන්නට මත්තෙන් ශ්‍රී ලංකාව තුළ ථේරවාද බෞද්ධ මූලස්ථානය ලෙස මහමෙවුනාවේ මහා විහාරය ආරම්භ කෙරුණා. මේත් සමඟ ක්‍රමයෙන් දිවයින පුරා සියලු ගම් නියම්ගම්වල වෙහෙර විහාර ඇති වීමට පටන් ගත්තා. දේශීය භික්ෂු සමාජයේ ආරම්භ සිදු වූයේත් මීට සමගාමීවමයි. ඒ ලක්දිව උපන් කුල කුමරෙකු ලෙස මහා අරිට්ඨ කුමරු සහ තවත් කුමාරවරුන් 500 ක් පැවිදි කරවීම මගින්.

මහින්දාගමනයේම ඉදිරි පියවරක් වූ සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ විසින් දඹදිව බුද්ධගයාවේ වැඩ සිටින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩමවා රෝපණය කිරීම මෙරට පුරා පැතිර ගිය මහා බෝධි සංස්කෘතියක ආරම්භයට හේතු වූවා. ඊට අමතරව බෝධීන් වහන්සේගේ ආරක්ෂාව සඳහා ලංකාවට ආ විවිධ ශිල්ප කලාවන්වල නිපුණ අටළොස් කුලයක ජනතාව මෙරට ශිල්ප කලා පෝෂණයට විශාල මෙහෙවරක් කළ බව ද පිළිගැනෙනවා. අනුලා බිසව ප්‍රධාන රාජකීය කාන්තාවන්ට පැවිද්ද ලබා දෙමින් ලක්දිව භික්ෂුණී සමාජය ආරම්භ වීමත් සිදු වූයේ සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ වැඩමවීමේ ප්‍රතිඵලයක් ලෙසින්.

තංගුත්ත පිරිවෙන, කාලපාසාද පිරිවෙන ආදී මහා විහාරයට අයත් ගොඩනැගිලි පෙන්නුම් කරන්නේ මහා විහාරය කේන්ද්‍ර කොටගත් ජාතික අධ්‍යාපන ක්‍රියාවලියක ආරම්භය සිදු වූ බවයි. කාලයත් සමඟ එය සියලු විහාරාරාම ඔස්සේ ක්‍රමයෙන් පැතිර යාම සිදු වී තිබෙනවා.

අනුරාධපුර සමාධි පිළිමය, තොලුවිල බුදු පිළිමය, අවුකන හිටි පිළිමය, පොළොන්නරුව ගල් විහාර ප්‍රතිමා ආදී බුද්ධ ප්‍රතිමා වාගේම අනුරාධපුරය සහ පොළොන්නරුව කේන්ද්‍ර කරගෙන රට පුරා ඉදි වූ මහා සෑයවල් ද ලක්වැසියන්ට දායාද වූයේ ද මහින්දාගමනයේ ප්‍රතිඵල වශයෙන්. මීට අමතරව ශ්‍රී ලංකාවේ විහාරාරාම ආශ්‍රිත ව චිත්‍ර, මූර්ති, කැටයම්, ගෘහ නිර්මාණ ආදී විසිතුරු හා විශිෂ්ට කලාකෘති ඇති වීම ද සිදු වුණා.

මහින්දාගමනය සිදුවන විට මෙරට භාවිතයේ පැවති අක්ෂර මාලාව කුමක්ද යන්න නිශ්චිතව සඳහන් වන්නේ නැහැ. නමුත් මිහිඳු මාහිමියන් විසින් ඉන්දියාවේ පැවති බ්‍රාහ්මී අක්ෂර ආදර්ශයට ගනිමින් සිංහල අක්ෂර මාලාව සකස් කරන ලද බවටයි පිළිගැනෙන්නේ. අනුරාධපුර යුගයේ පටන් අද දක්වාම වටිනා සාහිත්‍ය කෘති රාශියක් බිහිවීම සිදුවන්නේ ඒ අනුවයි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලකයන් බෞද්ධයන් විය යුතු බවටත්, ඔවුන් දස රාජ ධර්ම ආදී වූ බෞද්ධ ඉගැන්වීම් අනුව ධාර්මික රාජ්‍ය පාලනයක් පවත්වා ගෙන යුතු බවටත් එදා මෙරට සමාජය තුළ මතයක් නිර්මාණය වී තිබුණා. තවද වැඩිහිටියන්ට සැලකීම, ආගන්තුක සත්කාරය, මවුපිය උපස්ථානය ආදිය සාරධර්ම අදටත් අපේ ජිවිත වලට කා වැදී තිබෙනවා. මේ සියල්ලටත් පදනම වැටුණේ මිහිඳු මාහිමියන් මෙරටට ගෙන ආ බුදු දහමෙන්.

මේ අනුව පෙනී යන්නේ මහින්දාගමනය තුළින් මෙරටට ලැබුණු අධ්‍යාපනය, කලාව, සාහිත්‍යය, පුද සිරිත්, සාර ධර්ම ආදි සංස්කෘතික දායාද මත පදනම් වූ අපේම දේශීය අනන්‍යතාවක් නිර්මාණය වී තිබෙන බවයි. එය වසර දෙදහසකට වඩා වැඩි කාලයක් පුරාවට මෙරට සමාජයේ අත්තිවාරම ලෙසින් ක්‍රියා කරමින් තිබෙන බව නොරහසක්. ඒ බව අවබෝධ කරගනිමින් එහි ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීම අප සැමගේ යුතුකමක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *