මේ දවස් වල ෂෙඩ් එකේදී නැතුවම බැරි QR Code එක

මේ දවස් වල ෂෙඩ් එකේදී නැතුවම බැරි QR Code එක

1990 දශකයේ මුල් භාගය වන විට, අප හුරුපුරුදු සාමාන්‍ය Barcode පද්ධතිය එහි උපරිම සීමාවට ළඟා වී තිබුණි. Barcode එකක ගබඩා කළ හැකි වූයේ characters 20ක් වැනි සුළු දත්ත ප්‍රමාණයක් පමණක් නිසාවෙන් නැව් හරහා භාණ්ඩ ප්‍රවාහනය කරන පෙට්ටි මත දත්ත සටහන් කිරීමට Barcode කිහිපයක් ඇලවීමට ද සිදු විය.

1994 දී මෙම ගැටලුවට අපූරු විසඳුමක් සොයාගැනීමට ජපන් මෝටර් රථ සමාගමක් වන Denso Wave හි ඉංජිනේරුවෙකු වූ Masahiro Hara හට හැකි විය. ඒ සඳහා ඔහුට ආභාසය ලැබුණේ වසර 2000කට වැඩි කාලයක පටන් ජපානයේ පැවත එන පුවරු ක්‍රීඩාවක් වන Go මගිනි. පුවරුව මත ඇද තිබෙන කොටු ජාලයේ සුදු සහ කළු පැහැති ඉත්තන් තබා තිබෙන ආකාරය නිරීක්ෂණය කළ Hara අවබෝධ කරගත්තේ ඒකමාන රේඛීය තීරුකේත වලට වඩා වැඩි දිවිමාන පද්ධතියකින් වැඩි තොරතුරු ප්‍රමාණයක් රඳවා ගත හැකි බවයි. ඒ අනුව Masahiro Hara විසින් හදුන්වා දුන් නව කේතය සැලකිය යුතු ලෙසින් වේගවත් හා කාර්යක්ෂම වූ එබැවින් Quick Response Code හෙවත් QR Code ලෙස නම් කෙරුණි.

QR කේතයක් සැලකීමේදී එහි ශීර්ෂ 3ක දැකිය හැකි සමචතුරස්‍ර ඇතුළුව අභ්‍යන්තර රටාවට පදනම් වී තිබෙන්නේ ජපානයේ නාගරික ප්‍රදේශ ගුවනින් නිරීක්ෂණය කරන විට ගොඩනැගිලි පෙනෙන ආකාරයයි. එකී ශීර්ෂ 3ක දැකිය හැකි සමචතුරස්‍ර මගින් scanning යන්ත්‍රවලට ක්ෂණිකව කේතයේ දිශානතිය තීරණය කිරීමට හැකියාව ලැබේ.

ආරම්භයේදී QR කේත පද්ධතිය Denso Wave හි මෝටර් රථ කොටස් track කිරීමට භාවිත කළ නමුත් ඉන් ඔබ්බට ගොස් තොග ගබඩා පාලනය, ටිකට්පත් වෙළඳාම සහ අලෙවිකරණය ආදී කාර්යයන් සඳහා යොදාගත හැකි බව කෙටි කාලයක් තුළ පැහැදිලි විය. 2000 වර්ෂයේ දී, ප්‍රමිතිකරණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (ISO) ඔවුන්ගේ ජාත්‍යන්තරව අනුමත කරන ලද සහ ප්‍රමිතිගත තාක්ෂණ ලැයිස්තුවට QR කේත එක් කළේය. මෙය QR කේත කර්මාන්ත පුරා භාවිතයේ වැඩිවීමකට හේතු වුණි.

ජපානය තුළ QR කේත ජනප්‍රිය වීමත් සමඟ, 2002 දී ජපන් ඉලෙක්ට්‍රොනික සමාගමක් වන Sharp විසින් QR ස්කෑනරයක් සහිත පළමු ජංගම දුරකථනය හඳුන්වා දීමට කටයුතු කළේය. මේත් සමඟ ඕනෑම පුද්ගලයෙකුට ඉක්මනින් QR කේත scan කිරීමට හැකියාව හිමි වූ අතර එය තාක්ෂණික ලෝකයේ නව පියවරක් ඉදිරියට යාමක් බවට පත් විය. විවෘත වී ඇති අවස්ථාව හඳුනාගත් QR කේත විසින් භෞතික සහ ඩිජිටල් ක්ෂේත්‍ර පහසුවෙන් සම්බන්ධ කළේ තොරතුරු සඳහා පුළුල් ලෙස ප්‍රවේශ විය හැකි ද්වාරයක් බවට පරිවර්තනය වෙමිනි. ඉක්මනින්ම නිෂ්පාදන ඇසුරුම්, වෙළඳ දැන්වීම්, අවන්හල් මෙනු ආදී සෑම තැනකම QR කේත දැක ගැනීමට හැකි වූ අතර ඒවා සරල scan කිරීමකින් තොරතුරු නිධානයක අගුළු හරින ඩිජිටල් යතුරු බවට පත් විය.

මෙම තාක්ෂණය කාලයත් සමඟ තවදුරටත් දියුණු වී ඇත. මුද්‍රණය කරන ලද කේතය වෙනස් නොකර එහි අන්තර්ගත තොරතුරු හෝ වෙබ් අඩවි ලිපිනයන් යාවත්කාලීන කිරීමට හැකි Dynamic QR codes හඳුන්වා දීම සිදු වූයේ ඒ අනුවයි.

අද වන විට QR කේතය අපගේ දෛනික ජීවිතයේ වෙන් කළ නොහැකි කොටසක් බවට පත්ව තිබේ. මෝටර් රථ කොටස් track කර ගැනීමට ආරම්භ වූ මෙම තාක්ෂණය තවදුරටත් නිහඬව ලෝකය පුරා අතිවිශාල පෙරළියක් සිදු කරමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *