ජල විභවය, සුළං බලය, සුර්යය ශක්තිය, ජෛව ඉන්ධන ආදී ප්‍රධාන වශයෙන් භාවිත වන පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ට අමතරව අලුතින් වඩාත් සාර්ථක ලෙස යොදා ගන්න පුළුවන් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මොනවාද කියන සංවාදය තිබෙන්නේ කලක පටන්. ඇවිදින විට අපේ සිරුරෙන් චාලක ශක්තිය විදිහට නිදහස් වෙන ශක්තිය, විද්‍යුත් ශක්තිය බවට හැරවීම පිළිබඳ සංකල්පය කරළියට එන්නේ ඒ අනුව.
මෙහිදී නිර්මාණකරුවන්ගේ ඉලක්කය වුණේ තබන එක් පියවරක් මගින් වැඩි විදුලි ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න පුළුවන් ටයිල් (පිඟන් ගඩොල්) විශේෂයක් නිර්මාණය කිරීම. ඒ ආකාරයට නිර්මාණය වුණ විවිධ ටයිල් විශේෂයන් අතරින් එක්සත් රාජධානියේ PAVEGEN සමාගමේ නිර්මාණය ඉදිරියෙන් සිටින බව හඳුනා ගන්න පුළුවන්.
PAVEGEN සමාගම ඉදිරිපත් කරන මෙම ටයිල් නිර්මාණය කරලා තියෙන්නේ මූලික වශයෙන් ප්‍රතිචක්‍රීකරණය කරන ලද රබර් වලින්. එම නිසා මේවා බිඳෙන සුළු ටයිල් කැට නෙමෙයි. ඒ වගේම ඕනෑම කාලගුණ තත්වයකට ඔරොත්තු දෙනවා.
ත්‍රිකෝණාකාර හැඩැති මේ ටයිල් වල ශීර්ෂ වලට කුඩා ඉලෙක්ට්‍රෝ මැග්නටික් ජෙනරේටර සම්බන්ධ කර තිබෙනවා. ටයිල් මතින් ගමන් කරන විට එම එක් ටයිල් කැටයක් මිලි මීටර 5-10ක කුඩා සිරස් චලිතයක් සිදු කරන අතර එහිදී ඉලෙක්ට්‍රෝ මැග්නටික් ජෙනරේටර ආධාරයෙන් නිපදවෙන ශක්තිය ජූල් 2-4ක්. මේ ආකාරයට නිෂ්පාදනය කරපු විදුලිය LED බල්බ දැල්වීම, කුඩා ඉලෙක්ට්‍රොනික උපකරණ ආරෝපණය වගේ සුළු වශයෙන් විදුලිය භාවිත වෙන කාර්යයන් වෙනුවෙන් යොදා ගන්න පුළුවන්.
ගුවන් තොටුපළ, පදික වේදිකා, සාප්පු සංකීර්ණ ආදී ජනතාව නිතරම ගැවසෙන ස්ථාන තමයි මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරලා විදුලිය නිපදවා ගැනීමට වඩාත් යෝග්‍ය ස්ථාන විදිහට හඳුනා ගන්නේ. PAVEGEN සමාගම මේ වන විටත් සමහර ජනාකීර්ණ ස්ථාන ආශ්‍රිතව මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබෙනවා දැක ගන්න පුළුවන්.
කෙසේ වෙතත් මෙහි ප්‍රධානම ගැටලු බවට පත් වෙලා තියෙන්නේ අධික වියදම සහ ආයු කාලය. සාමාන්‍යයෙන් වර්ග මීටරයක් මේ ටයිල් යොදා සකස් කර ගන්න ඇමෙරිකානු ඩොලර් 750ක් පමණ වියදම් වෙන බවයි සඳහන් වෙන්නේ. නමුත් ආයු කාලය වසර 5-7 පමණ කුඩා කාලයක් වන නිසාත්, අඛණ්ඩව විදුලිය නිපදවීමක් සිදු නොවන නිසාත් මෙය සාර්ථක විදුලි උත්පාදන ආකාරයක්ද යන්න ඇතැම් විචාරකයන් ප්‍රශ්න කරනවා. එම නිසා PAVEGEN සමාගමට තම නිර්මාණය කෙරෙහි වැඩි ජනතා ආකර්ෂණයක් ඇති කර ගැනීමට නම් අනාගතයේදී එය තවදුරටත් වැඩි දියුණු කිරීමට සිදු වේවි.
FOLLOW US ON :