විධායක ජනාධිපති

ඉදිරි වසර පහ සඳහා ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා තෝරාගැනීම සඳහා වූ ජනාධිපතිවරණය උදෑසන 7 සිට සවස 4 දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 13,421 කදී පැවැත්වුණා. ඊට සුදුසුකම් ලබා සිටි ඡන්දදායකයින් සංඛ්‍යාව 17,140,354 ක්. අපේක්ෂකයන් 38ක් ඉදිරිපත් වුණ මෙවර ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා කවුරුන්ද කියන වග අපට ඉදිරි පැය කිහිපය තුළ දැනගන්න ලැබේවි. ඒ අතරතුර අපි මේ සොයා බලන්න සූදානම් වන්නේ විධායක ජනාධිපති ධූරය සම්බන්ධවයි.

ශ්‍රී ලංකාවට විධායක ජනාධිපති ධූරය හඳුන්වා දුන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්. එහිදී ඉතා විශාල බලතල රාශියක් ලැබෙන පරිදි විධායක ජනාධිපති ධූරය නිර්මාණය කිරීමට එකී ව්‍යවස්ථාවේ නිර්මාතෘ වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා කටයුතු කර තිබුණා. ඒ බව ඔහුගේ “මට කළ නොහැක්කේ ගැහැණියක පිරිමියෙකු කිරීමත්, පිරිමියෙකු ගැහැණියෙකු කිරීමත් පමණයි.” යන ප්‍රකාශයෙන් මනාවට පිළිබිඹු වෙනවා. කෙසේ වෙතත් පසුකාලීන විටින් විට සිදුවූ ව්‍යවස්ථා සංශෝධන මගින් එම බලයේ කිසියම් අඩු වීමක් සිදු වී ඇති බව දැකගන්න පුළුවන්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(1) වගන්තිය අනුව රජයේ ප්‍රධානියා ද, විධායකයේ ප්‍රධානියා ද, ආණ්ඩුවේ ප්‍රධානියා ද, සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකවරයා ද වන්නේ ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා යි.

පාර්ලිමේන්තුව කැඳවීම, වාරාවසාන කිරීම, මහ මැතිවරණයකින් පසුව පැවැත්වන මංගල පාර්ලිමේන්තු රැස්වීමේ මුලසුන දැරීම, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා බලය ජනාධිපතිවරයා සතුයි. මේ අනුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවූවත් ව්‍යවස්ථාදායකය හා සම්බන්ධ බලතල කිහිපයක් ඔහුට හිමිව තිබෙනවා.

සිය මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතුරෙන් අමාත්‍යවරු පත් කිරීම, ඔවුනට විෂය හා කාර්ය පැවරීම ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කිරීම ජනාධිපතිට පැවරෙනවා. මේ අනුව විධායකයේ නායකයා ජනාධිපති වෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමතයට යටත්ව අග්‍ර විනිශ්චයකාරතුමා, අභියාචනාධිකරණයේ සභාපතිවරයා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයේ විනිශ්චකාරවරු පත් කිරීම, අධිකරණයකින් වරදකරු කළ තැනැත්තෙකුට සමාව දීම, දඬුවම් ලිහිල් කිරීම වැනි අධිකරණ ක්ෂේත්‍රයේ බලතල ප්‍රමාණයක් ද ජනාධිපති සතු යි.

රාජ්‍ය නායකයා වශයෙන් ද ජනාධිපතිවරයාට බලතල රැසක් හිමිව තිබෙනවා. යුද්ධය සහ සාමය ප්‍රකාශ කිරීම, උත්සවවල මුලසුන දැරීම, ජාත්‍යන්තර වශයෙන් ජනරජය නියෝජනය කිරීම, නිදහස් සහ සාධාරණ මැතිවරණ පැවැත්වීම සඳහා උචිත වාතාවරණයන් ඇති කිරීම තහවුරු කිරීම, තානාපතිවරු,මහකොමසාරිස්වරු පත් කිරීම, ජනාධිපති නීතිඥවරයන් පත් කිරීම, රාජ්‍ය මුද්‍රාව භාරයේ තබා ගැනීම එබඳු බලතලවලට උදාහරණ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට විරුද්ධව කවර කරුණක් හෝ සම්බන්ධයෙන් අධිකරණයක නඩු පැවරීම කළ නොහැකි වීම ජනාධිපති ධුරය සතු විශේෂ වරප්‍රසාදයක්.

කෙසේ වෙතත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා සිය නිල කාලය තුළ ඉවත් කළ හැකි වන්නේ ඔහුට එරෙහිව ඉදිරිපත් වන දෝෂාභියෝගයක් පදනම් කරගෙනයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *