නෙළු වසන්තය

මේ දවස් වල හොර්ටන් තැන්න සංචාරකයන්ගේ ආකර්ෂණයට හේතු වෙලා තියෙන්නේ වෙනදාට වඩා වෙනස් හේතුවකට. ඒ තමයි අවුරුදු 12කට පසුව පැමිණි නෙළු වසන්තය. ඉතින් ඒ හේතුව නිසාවෙන්ම නෙළු ගැනයි අද අපේ සටහන.

Acanthaceae ශාක කුලයේ Strobilanthes ශාක ගණය යටතේ නෙළු ශාකය වර්ගීකරණය කෙරෙනවා. මෙම ශාකය වඩාත් ජනප්‍රිය වී තිබෙන්නේ ඇතැම් නෙළු විශේෂ වල මල් හට ගැනීම වසර දෙකකට, තුනකට, හතරකට, හයකට හා දොළහකට ආදී වශයෙන් වසර කිහිපයකට වරක් පමණක් සිදු වන නිසාවෙන්. මල පිපුණු පසුව ශාකය විනාශ වී යන බැවින් ‘මව් මරා උපන් මල’ ලෙසද නෙළු ශාකය හඳුන්වනු ලබනවා.

ලෝකය පුරා නෙළු විශේෂ 400 කට ආසන්න සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ වාර්තා වන නෙළු විශේෂ 35ක් පමණ වන අතර ඉන් විශේෂ 25 කට වඩා වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට ආවේණික බවයි පැවසෙන්නේ. මේ අතරින් හෝර්ටන් තැන්නේදී විශේෂ 8ක් වාර්තා වෙනවා.

නෙළු වසන්තයේදී සිදු වෙන්නේ මේ අතරින් විශේෂ 6ක මල් එක වර පිපීමයි (Mass flowering). මෙම නෙළු ශාකවල විටින් විට මල් පිපීම සිදු වුණත් විශේෂයන් සියල්ලගේම එකවර මල් පිපීම හඳුනාගෙන තිබෙන්නේ වසර 12 කට වරක්. මෙහිදී එකවර පිපෙන නෙළු විශේෂ වන්නේ Strobilanthes calycina, Strobilanthes hookeri, strobilanthes sexennis, Strobilanthes viscosa, Strobilanthes anceps සහ Strobilanthes pulcherrima. හෝර්ටන්තැන්නට අමතරව පට්ටිපොළ, ඔහිය, කිරිගල්පොත්ත, තොටුපළ කන්ද ආදී ප්‍රදේශ වලත් මේ දිනවල නෙළු වසන්තය දැක ගන්න පුළුවන්.

නෙළු වසන්තය හෙවත් සමූහ නෙළු මල් පිපීම අතීතයේදීත් සිදු වී තිබෙන්නේ වසර 12 කට වරක් පමණක් බව අතීත වාර්තා අධ්‍යයනයේදී පැහැදිලි වෙනවා. බ්‍රිතාන්‍ය ජාතික වැවිලි කරුවෙකු ලෙස කටයුතු කළ ස්වභාව විද්‍යාඥ තෝමස් ෆාර් විසින් 1910 දී තබන ලද නිරීක්ෂණ සටහන් අනුව ඔහු විසින් 1881, 1893 සහ 1905 යන වර්ෂ වලදී, එනම් වසර 12 කට වරක් සමූහ නෙළු මල් පිපීම නිරීක්ෂණය කර තිබෙනවා. පරිසරවේදීන් පවසන පරිදි නැවතත් නෙළු වසන්තයක් අත්විදීමට හැකි වන්නේ 2037 වර්ෂයේදී.

අපූරු නෙළු මල් දැක බලා ගැනීමට හෝර්ටන් තැන්නට යන ඔබ අනිවාර්යයෙන්ම මතකයේ රඳවා ගත යුතු කාරණයක් තිබෙනවා. ඒ සොබාදහමේ අසිරිය විඳ පා සටහන් පමණක් ඉතිරි කර ආපසු පැමිණීම ඔබේ වගකීමක් බව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *