ශ්‍රී ලංකවේ ඉදි වුණ පළමු එල්ලෙන පාලම

කොළඹ කටුනායක අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් පසු කොළඹ නගරයට ඇතුල් වන රථවාහන සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස වැඩි වුණා. ඒ වගේම පුත්තලම සහ මහනුවර සිට ඇති ප්‍රධාන මාර්ග ඔස්සේ පැමිණෙන රථ වාහන ප්‍රමාණයද අධිකයි. මේ නිසා පෑලියගොඩ, ඔරුගොඩවත්ත සහ ඉඟුරු කඩේ මංසන්ධිය ආශ්‍රිතව දවස පුරා පැවතියේ දැඩි රථවාහන තදබදයක්. නව කැලණි පාලම ඉදිකිරීමේ කටයුතු ආරම්භ වුණේ මේ තත්ත්වයට පැවති කැලණි පාලම ප්‍රමාණවත් නොවීම නිසායි.

කැලණි ගඟ හරහා ඇති මීටර් 380ක් දිග කොන්ක්‍රීට් පාලම සහ ආනත පිවිසුම් පිටවුම් හා අන්තර් හුවමාරු පද්ධතිය සහිත වානේ නිමවුම් පාලම් කොටස ලෙස ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත මෙම පාලම් ව්‍යාපෘතිය ඉදිකිරුණේ ජපානයේ ජයිකා ආයතනයෙන් ලැබුණු යෙන් මිලියන 35020ක ණය මුදලකින්.

මංතීරු හයකින් සමන්විත මෙම පාලම නිර්මාණය කිරීමේදී උපදේශක සමාගම් ලෙස කටයුතු කරලා තියෙන්නේ Oriental Consultants සහ Katahira & Engineers International යන විදේශීය ආයතන සහ ශ්‍රී ලංකවේ CEA Consultants ආයතනය. මෙහි වානේ පාලම් කොටසේ steel fabrication සිදුකර තිබෙන්නේ තායිලන්තය, වියට්නාමය, මියන්මාරය සහ ජපානය යන රටවල් වල. තවද කොන්ක්‍රීට් පාලම් කොටස ඉදි කිරීම සැලකීමේදී ඊට කොන්ක්‍රීට් යෙදීම සිදු කර තිබෙන්නේ home traveller නම් යන්ත්‍රය යොදා ගෙන. මෙම තාක්ෂණික ක්‍රමය ශ්‍රී ලංකාව තුළ භාවිත වූ පළමු අවස්ථාව තමයි මේ.

මේ පාලමේ ඇති සුවිශේෂීතා විදිහට මීටර් 180ක් පමණ පළල ගඟට බාධාවක් නොවන පරිදි ගඟ මැද කුළුණු ඉදිකිරීමකින් තොරව ගං ඉවුරේ කුලුණු මතින් පාලම නිර්මාණය කිරීම දක්වන්න පුළුවන්. Extradosed නම් පාලම් වර්ගයට අයත් වන මෙම පාලමේ කේබල් මගින් පාලමේ බරෙන් 20%කුත්, ඉතිරි බර කුළුණු සහ අත්තිවාරම මගිනුත් දරා ගන්නවා. මෙම පාලම් විශේෂය ජපාන හඳුන්වාදීමක්. එමෙන්ම මෙම පාලම ඉදි කර තිබෙන්නේ භූමිකම්පාවලට ඔරොත්තු දෙන ආකාරයට. මෙම පාලම රාත්‍රී කාලයේදී ආලෝකමත් කිරීමට කේබල් මත සවි කර තිබෙන්නේ linear RGBW නම් බල්බ විශේෂය.

මාර්ග තදබදය අවම කිරීම, ගමනාගමන වේගය ඉහල නැංවීම, නඩත්තු පිරිවැය හා විශාල මිනිස් පැය සංඛ්‍යාවක් නාස්තියකින් තොරව ඉතිරි කරදීම වගේ වාසි රැසක් සලසන, 2021 වර්ෂයේ දී විවෘත කෙරුණු මෙම කල්‍යාණි රන් පිවිසුම – නව කැලණි පාලම ශ්‍රී ලංකාව සංවර්ධනයේ නව දිශානතියකට රැගෙන යනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *