නත්තල් ගස

නත්තල් ගසේ ආරම්භය කතෝලික ආගමේ ආගමනයටත් පෙර පුරාණ ඊජිප්තුව සහ රෝමය දක්වා ඇදී යයි. දෙසැම්බර් මාසයේ ශීත ඍතුව ආරම්භ වීමත් සමඟ සෑම ගසකම කොළ වියළී හැළී යාම සිදු වේ. නමුත් ෆයිනස් ශාක විශේෂවල මේ ආකාරයට කොළ හැළීමක් සිදු නොවන බව දුටු අතීත ජනතාව එම ගස් තම නිවාස තුළ සරසා තබා ගැනීමට කටයුතු කළේ එමඟින් ඔවුන්ව අවතාර, නපුරු ආත්මයන් සහ රෝග වලින් ඈත් කරනු ඇතැයි යන විශ්වාසයෙනි.

අද අප දකින නත්තල් ගස නිර්මාණය කිරීමේ සම්ප්‍රදාය ඇරඹීමේ ගෞරවය හිමි වන්නේ ජර්මනියටයි. මූලාශ්‍රවල සඳහන් පරිදි 16 වන සියවස වන විට කිතුනු භක්තිකයන් සිය නිවෙස්වල නත්තල් ගස් සරසා තිබේ. නත්තල් ගසක් ඉටිපන්දම් වලින් ආලෝකමත් කළ පළමු පුද්ගලයා වන්නේ ජර්මන් ජාතික රෙපරමාදු ප්‍රතිසංස්කරණවාදියෙක් වූ මාටින් ලූතර් ය. එක් ශීත සැදෑවක නිවසට ඇවිද යන විට ෆයිනස් ගස් අත‍රින් දිලිසෙන තරු දැකීමෙන් මුසපත් වූ ඔහු, නැවත එය සිය පවුලේ අයට පෙන්වීම සඳහා නත්තල් ගසේ ඉටිපන්දම් දැල් වූ බව සඳහන්.

කෙසේ වෙතත් මිත්‍යා දෘෂ්ටික විශ්වාසයක් ලෙස සළකමින් ඇමෙරිකානුවෝ නත්තල් ගස බැහැර කළහ. ගස් සරසමින් සැරසිලි එල්ලීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් කරමින් නීති පවා පැනවුණි. නමුත් 1846 දී ඇමෙරිකානුවන්ගේ මෙම ආකල්ප වෙනස් කිරීමට වික්ටෝරියා රැජින හේතු විය. ඇය, සිය ජර්මානු සම්භවයක් සහිත සැමියා සහ ඔවුන්ගේ දරුවන් සමඟ නත්තල් ගසක් වටා සිටින ආකාරය දැක්වෙන චිත්‍රයක් ලන්ඩන් නිවුස් සඟරාවේ පල වීමත් සමඟ, නත්තල් ගස සැරසීමේ සම්ප්‍රදාය එංගලන්තයේ මෙන්ම ඇමෙරිකාවේ ද වේගයෙන් ජනප්‍රිය වීමට පටන් ගත්තේය.

1879 දී විදුලි බුබුල සොයා ගත් තෝමස් අල්වා එඩිසන් හට විදුලි බුබුල යනු අනාගතයේ අත්‍යවශ්‍ය අංගයක් බව ඒත්තු ගැන්වීමට අවශ්‍ය විය. එඩිසන් සමඟ කටයුතු කළ ඉංජිනේරුවෙකු වූ එඩ්වඩ් ජොන්සන් හට ඊට අදහසක් තිබුණි. දීර්ඝ කාලයක් පුරාවට නත්තල් ගස් ඉටිපන්දම් වලින් ආලෝකකරණය කළ නමුත් එහි කිසියම් අනාරක්ෂිත ස්වභාවයක් විය. එබැවින් ජොන්සන් තම නිවසේ නත්තල් ගස ඉටිපන්දම් වෙනුවට විදුලි බුබුළු 80 කින් සැරසූ අතර එය භ්‍රමණය වන වේදිකාවක් මත තැබීය. නගරවාසීන් නිවසේ ජනේලයෙන් නත්තල් ගස දුටු අතර ඊට ඔවුන්ගේ ආකර්ෂණය හිමි වුණි. ඊළඟ වසරේ ජොන්සන් විදුලි බුබුළු 225 ක් සහිත, උසින් අඩි 45 ක් වන නත්තල් ගසක් එළිමහනේ ඉදි කළේය. විදුලි බුබුළු වඩාත් දැරිය හැකි මිලකට ලබා ගැනීමට හැකි වීමත් සමඟ ඇමෙරිකානුවන් එය සිය නත්තල් ගසේ අනිවාර්යය අංගයක් බවට පත් කර ගත් අතර අද වන විට එය සමස්ත ලෝකය පුරාම පැතිරී ගොස් අවසන් ය.

නත්තල හා බැඳුණු සුවිශේෂී අංගයක් වන නත්තල් ගසට වැඩියෙන්ම ඇලුම් කරන්නේ කුඩා දරුවන්. ඔවුන් මග බලා සිටින්නේ නත්තල් සීයා රාත්‍රියේ හොර රහසේ පැමිණ නත්තල් ගස පාමුල තමන්ට තෑග්ගක් තබා යාවි යැයි බලාපොරොත්තුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *