1897 වර්ෂයේ දී නිවයෝර්ක් හි විසූ අට හැවරිදි වර්ජිනියා ඕ’හැන්ලෝන් නම් දැරියට ‘සැබවින්ම නත්තල් සීයා සිටීද’ යන ගැටලුව පැන නැගුණු අතර ඇය මේ පිළිබඳව විමසා නිව් යෝර්ක් හි The Sun පුවත්පතට සිය ගැටලුව ලිපියක් මගින් ඉදිරිපත් කළාය. ඊට අදාළ පිළිතුරු ලිපිය 1897 සැප්තැම්බර් 21 වන දින පුවත්පතේ පළ වූයේ ඒ අනුවයි. Yes, Virginia, there is a Santa Claus ලෙස පසුකාලීනව ප්‍රසිද්ධියට පත් වූ එම ලිපියයි මේ.
හිතවත් කර්තෘතුමනි,
මගේ වයස අවුරුදු 8 යි. මගේ සමහර පුංචි යාළුවෝ කියනවා නත්තල් සීයා කියලා කෙනෙක් නෑ කියලා. තාත්තා කියනවා “ඔයා ඒ ගැන The Sun පුවත්පතේ දැක්කොත් තමයි” කියලා. කරුණාකර මට ඇත්ත කියන්න, නත්තල් සීයා ඉන්නවාද?
වර්ජිනියා,
ඔබේ කුඩා මිතුරන් වැරදියි. සෑම දෙයම සැක යුගයක සැකයෙන් බැලීම ඔවුනට බලපා තිබේ. ඔවුහු දකින දේ හැර විශ්වාස නොකරති. ඔවුන් සිතන්නේ ඔවුන්ගේ කුඩා මනසට නොතේරෙන කිසිවක් විය නොහැකි බවයි.වර්ජිනියා, වැඩිහිටියන් සහ ළමයින් සියළු දෙනාගේ මනස කුඩායි. මුළු සත්‍යය හා දැනුම ග්‍රහණය කර ගත හැකි බුද්ධියෙන් මැන, මිනිසා පිළිබඳ අසීමිත ලෝකය හා සසඳන විට මිනිසා යනු අපේ මේ මහා විශ්වය තුළ හුදු කෘමියෙකු හෝ කුහුඹුවෙකු පමණයි.
ඔව් වර්ජිනියා, නත්තල් සීයා සිටිනවා. ආදරය, ත්‍යාගශීලි බව, භක්තිය තිබෙන්නා සේම ඔහු ද නියත වශයෙන්ම සිටී. එමෙන්ම ඒ ආදරය, ත්‍යාගශීලි බව, භක්තිය බහුල වීම අපගේ ජීවිතයට එහි ඉහළම සුන්දරත්වය හා ප්‍රීතිය ලබා දෙන බවත් ඔබ දන්නවා.
අහෝ! නත්තල් සීයා නොමැති නම් ලෝකය කෙතරම් අඳුරු වනු ඇත්ද! එය වර්ජිනියා නොමැති විට තරමටම අඳුරු වනු ඇත. එවිට මෙහි පැවැත්ම දරා ගැනීමට තරම් ළමා විශ්වාසයක් නොවීම නිසාවෙන් කවියත්, ආදරයත් නොවේවි. අපට සංවේදනයෙන් සහ දෘෂ්ටියෙන් හැර කිසිම වින්දනයක් නොලැබේවි. ළමා කාලය මගින් ලෝකයට ලැබෙන සදාකාලික ආලෝකය නිවී යාවි.
නත්තල් සීයා විශ්වාස කරන්නේ නැද්ද? ඔබ සුරංගනාවියන්වත් විශ්වාස නොකරනවා ඇති. නත්තල් සීයා අල්ලා ගැනීම සඳහා නත්තල් දා සැන්දෑවේ සියලුම චිමිනි1 නිරීක්ෂණය කිරීමට මිනිසුන් කුලියට ගැනීමට ඔබේ පියාට හැකි වේවි. නමුත් නත්තල් සීයාගේ පැමිණීම ඒ කිසිවෙක් දුටුවේ නැතත්, එයින් ඔප්පු වන්නේ කුමක්ද?
නත්තල් සීයා කිසිවකුටත් නොපෙනේ. එහෙත් එය නත්තල් සීයා නොමැති බවට ලකුණක් නොවේ. ලොව වඩාත්ම සැබෑ දේවල් ළමයින්ට හෝ වැඩිහිටියන්ට නොපෙනෙන ඒවාය.
ඔබ කවදා හෝ තණකොළ මත සුරංගනාවියන් නටනවා දැක තිබේද? ඇත්ත වශයෙන්ම නැත. නමුත් ඔවුන් එහි නොමැති බවට එය සාක්ෂියක් නොවේ. ලෝකයේ නොපෙනෙන සියලු ආශ්චර්යයන් පිළිබඳව කිසිවෙකුට සිතා ගැනීමට හෝ නොහැකිය.
ඔබට ළදරුවෙකුගේ රැටල් එකක්2 කඩා දමා එහි ඇතුළත ශබ්දය ඇති කරන්නේ කුමක්දැයි බැලීමට හැකියි. නමුත් ශක්තිමත්ම මිනිසාට හෝ මෙතෙක් ජීවත් වූ සියලුම ශක්තිමත් මිනිසුන්ගේ ශක්තියට පවා ඉවත් කළ නොහැකි අදෘශ්‍යමාන ලෝකය ආවරණය කරන තිරයක් වේ. එම තිරය පසෙකට කර, ඉන් ඔබ්බට ඇති අධිස්වාභාවික සුන්දරත්වය නැරඹිය හැක්කේ විශ්වාසය, පරිකල්පනය, කවිය, ආදරය සහ ප්‍රේමය මගින් පමණි.
ඒ සියල්ල ඇත්තද? වර්ජිනියා, මේ මුළු ලෝකයේම සැබෑ සහ ස්ථිර ලෙස වෙනත් කිසිවක් නැත.
නත්තල් සීයා නැහැ? දෙවියන්ට ස්තූති වන්නට ඔහු ජීවත් වන අතර ඔහු සදාකල් ජීවත් වේ. මෙතැන් සිට වසර දහසකට පසු, ඇතැම් විට එවන් කාල දහයක්, වසර දස දහසකට පසුව ද ඔහු දරුවන්ගේ හදවත් සතුටු කරනු ඇත.