වසර පුරා තම කෘෂි කටයුතු සඳහා මහෝපකාරී වූ සූර්යයාට සහ ගව මහේෂාදීන්ට කෘත ගුණ සැළකීමේ අරමුණෙන් හින්දූන් විසින් සෑම වර්ෂයකම ජනවාරි මස තෛපොංගල් උත්සවය පවත්වයි. මෙම උත්සවයේ ආරම්භය හෙළිදරව් කරන ජනප්‍රියම පුරාවෘත්තය වන්නේ ශිව දෙවියන්ගේ ගවයා වන ‘භාෂව’ හා සම්බන්ධ කතා පුවත වේ. එය මෙසේ ය.
දිනක් භාෂව ඇමතු ශිව දෙවියෝ පෘථිවියට ගොස් මනුෂ්‍යයන්ට සෑම දිනකදීම තෙල් සාත්තුවක් කර ස්නානය කරන ලෙසටත්, මසකට වරක් පමණක් ආහාර ගන්නා ලෙසටත් උපදෙස් දෙන්නැයි ප්‍රකාශ කළහ. එහෙත් ශිව දෙවියන්ගේ පණිවිඩය වරදවා වටහා ගත් භාෂව, සෑම දිනකම ආහාර ගන්නා ලෙසටත්, මසකට වරක් තෙල් සාත්තු කර ස්නානය කිරීම සිදු කරන ලෙසටත් මානව සමාජයට පැවසීය.
මෙම වරද පිළිබඳව කෝපයට පත් වූ ශිව දෙවියන් සිය ගවයා වන භාෂව හට කියා සිටියේ භාෂාව සදාකාලිකවම මනු ලොවේම වාසය කරන ලෙසටයි. එමෙන්ම ගවයාට සී සාමින්, කුඹුරු වැඩ ඇතුළුව මානව සමාජයේ වෙනත් කටයුතු උදෙසා සහාය වෙමින්, ආහාර නිෂ්පාදනය වර්ධනය කිරීමට දායක වීමටත් සිදු වී තිබෙන්නේ මෙම පසුබිම තුළ බව එම පුරාවෘත්තයේ සඳහන් වේ.
මෙසේ මනු ලොවේ ගොවිතැනට උදව් වන ගවයන්ට කෘතවේදී වීමට ජනතාව පෙළැඹී ඇත. දින හතරක් පුරා පැවැත්වෙන තෛපොංගල් උත්සවයේ දෙවන දිනය වන අද පැවැත්වෙන ‘පොංගල් පණ්ඩිගෛ’ උත්සවයේ දී සූර්යයා වෙත කෘතවේදීත්වය පළ කොට, තුන්වන දිනට යෙදී තිබෙන ‘පට්ටි පොංගල්’ උත්සවයේදී ගොවිතැනට උපකාරී වූ ගවයන් ඇතුළු සතුන් වෙත කෘතවේදීත්වය පළ කරන්නේ ඒ අනුවයි.