සරුංගල්🪁

සරුංගල් කියන්නේ ලෝකය පුරා ලොකු පොඩි කා අතරත් ජනප්‍රිය සෙල්ලම් බඩු විශේෂයක්. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේදී නම් වැඩිපුර අහසේ සරුංගල් දැක ගන්න ලැබෙන්නේ මේ අගෝස්තු මාසයේ. ඒ නිසාවෙන්ම සරුංගල් ගැන කරුණු කිහිපයක් සොයා බලන්නයි මේ සූදානම.

සරුංගලයේ ආරම්භය අදින් වසර 2000කට වඩා ආපස්සට යන බවයි සඳහන් වෙන්නේ. ක්‍රි.පූ. 5 වන සියවසයේ චීනයේ විසූ Mozi නම් දාර්ශනිකයෙක් අහසේ පියාසර කළ හැකි කුරුල්ලෙක් ලීයෙන් තැනූ බව කියවෙනවා. ඒ විදිහට ආරම්භ වුණ සරුංගල් පසු කාලීනව සේද, උණ, කඩදාසි ආදී ද්‍රව්‍ය භාවිතයෙන් නිර්මාණය කරමින් එහි පියාසර හැකියාව සහ කල් පැවැත්ම වැඩි කරගැනීමට කටයුතු කර තිබෙන ආකාරය අද අපට දැක ගන්න පුළුවන්. කොහොම නමුත් ඉතා කෙටි කාලයක් තුළ සරුංගල් චීනයෙන් නොනැවතී කොරියාව, ජපානය වගේ අග්නිදිග ආසියාවේ අසල්වැසි සංස්කෘතීන්ටත් ව්‍යාප්ත වුණා. එක් එක් කලාපවල සරුංගල් යොදා ගත්තේ විවිධ අරමුණු වෙනුවෙන්. සුළඟ පිළිබඳව අධ්‍යනය කිරීම, දුර මැනීම, පණිවුඩ හුවමාරු කිරීම, දෙවියන් වෙත යාඥා යැවීම ඒ අතරින් කිහිපයක්.

විද්‍යාවේ දියුණුව ගැන කතා කිරීමේදීත් සරුංගල් කියන්නේ අමතක කළ නොහැකි දෙයක්. ඊට හොඳම උදාහරණය තමයි. 1752දී බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් සරුංගල‍යක් යොදාගෙන සිදු කරපු පරීක්ෂණය. ඔහු එහිදී පෙන්වීමට උත්සාහ කළේ අකුණු, විද්‍යුතයේ ප්‍රතිඵලයක් බව. මීට අමතරව ඇමරිකානු ජාතික විලියම් එඩී සහ ඕස්ට්‍රේලියානු ජාතික ලෝරන්ස් හාග්‍රේව් සිය වායුගෝලය පිළිබදව අධ්‍යයන කටයුතුවලට සරුංගල් යොදා ගෙන තිබෙනවා. ඒ වගේම ගුවන් යානා නිර්මාණය කිරීමේදීත් ඊට මූලිකම සංකල්පය වී තිබෙන්නේ සරුංගල්.

සරුංගල් ලෝකය පුරා විවිධ සංස්කෘතීන් වෙතටත් බලපෑම් කර තිබෙනවා. ශීත ඍතුවේ අවසානය සනිටුහන් කරමින් ඉන්දියාවේ පවත්වන මකර සංක්‍රාන්ති නම් විචිත්‍රවත් උත්සවයේදී සියලු වයස්වල ජනතාව සරුංගල් පියාසර කරවීම සහ ජපානයේ හමාමාට්සු නම් සරුංගල් උත්සවයේදී සරුංගල් අහසට මුදා හරිමින් කුළුදුල් දරුවාගේ උපත සැමරීම මීට කදිම නිදසුන්. ඒ වගේම තායිලන්තයේ රාජකීය සරුංගල් උත්සවය ක්‍රි.ව. 13 වන සියවස දක්වා අතීතයට දිව යනවා.

අද වන විට සරුංගල් පියාසර කරවීම ලොව පුරා ජනප්‍රිය ක්‍රීඩාවක් බවට පත් වී අවසන්. ජාත්‍යන්තර මට්ටමේ සරුංගල් තරගාවලි තුළින් ඒ බව මනාවට දැක ගත හැකියි. කෙසේ නමුත් ඔබ යළිත් අහසේ සරුංගලයක් පාවෙනු දකින විට සිහිපත් වේවි මෙය හුදෙක් නූලකට සම්බන්ධ කළ කඩදාසි අළවන ලද සැකිල්ලක් පමණක්ම නොව එය ඉතිහාසයේ, සංස්කෘතියේ සහ නිර්මාණශීලීත්වයේ ප්‍රතිඵලයක් බව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *