මහින්දාගමනයට ප්‍රථම ලක්වැසියන් බුදු දහම දැන සිටියාද?

ලාංකීය බෞද්ධ ජනතාවට පොසොන් පොහෝ දිනය වැදගත් වන්නේ මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනය නිසාවෙන්. ශ්‍රී ලාංකීය ඉතිහාසායේ සුවිශේෂී සංධිස්ථානයක් වන මෙය සිදුවෙන්නේ බුද්ධ පරිණිර්වාණයෙන් වසර 236කට පසුව. ඒ වන තෙක් ලක්වාසී ප්‍රජාව බුදු දහම ගැන දැන සිටියේද යන්න ගැනයි අපේ මේ සොයා බැලීම.

මහින්දාගමනයට පෙර ලක්වාසීන් බුදු දහම ගැන දැන සිටීමට ඇති ප්‍රධානම සාධකයක් තමයි බුදුරජාණන් වහන්සේ තෙවරක් ලංකාවට වැඩම කිරීම. මේ බව දීපවංශය, මහාවංශය සහ සමන්ත පාසාදිකාව කියන ග්‍රන්ථවල පැහැදිලිව සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ පළමු වර මහියන්ගණයට වැඩම කර යක්ෂයන්ට ධර්මය දේශනා කළ අවස්ථාවේ විශාල පි‍රිසක් බුදුන් සරණ ගිය බවත්, එහිදී ධර්මය අසා සෝවාන් ඵලයට පැමිණි සමන්තකූට අධිපති සුමන නම් දෙව්රජු මෙරට වැසියන්ගේ වන්දනාව සඳහා පූජා වස්තුවක් බුදුරදුන්ගෙන් ඉල්ලා සිටි බවත්, එහිදී බුදුරදුන්ගෙන් ලැබුණු කේශ ධාතු නිධන් කර එම ස්ථනයේ චෛත්‍යයක් නිර්මාණය කළ බවත් සඳහන්. වර්තමානයේ මහියංගණ චෛත්‍යය ලෙස හඳුන්වන්නේ මේ චෛත්‍යය.

දෙවන වර බුදුරජාණන් වහන්සේ නාගදීපයට පැමිණි අවස්ථාවේ තිසරණයෙහි පිහිටා පන්සිල් සමාදන් වූ නාගයන් අතර සිටි කැලණියේ මණිඅක්ඛික නම් නා රජු බුදුරදුන් යළිත් වරක් ලංකාවට වැඩමවා ගැනීමට උනන්දු වී කටයුතු කර තිබෙනවා. ඉන් පෙනී යන්නේ ඔහු සැබෑ බෞද්ධයෙක් වූ බව. මෙරටට තෙවන වර වැඩම කළ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ අනුරාධපුරයේ නොයෙක් ප්‍රදේශවලට වැඩම කිරීම තුළින් සිතිය හැක්කේ ඒ ප්‍රදේශවල විසූ ජනතාව බුදු දහම කෙරෙහි පැහැදී සිටි බව‍යි.

මහාවංශයේ සඳහන් වන විදිහට බුද්ධ පරිණිර්වාණයෙන් පසුව බුදුරදුන්ගේ අකුධාතුව රැගෙන ලංකාවට වැඩම කළ සරභූ නම් සැරයුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය තෙරුණ් වහන්සේ, එම ධාතූන් වහන්සේ මහියංගන චෛත්‍යයේ තැම්පත් කරලා තියෙනවා. එමගින් පැහැදිලි වන්නේ බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කිරීමෙන් පසු ආසන්න කාලවකවානුවේ, නොඑසේ නම් මහින්දාගමනයට බොහෝ කළකට පෙර සිටම බෞද්ධ භික්ෂූන් වහන්සේලා මෙරටට වැඩමවා ඇති බව. මහියංගන චෛත්‍යය ගැන සඳහන් වීම මගින් එම ප්‍රදේශයේ බෞද්ධ ජනතාවක් සිටි බවටත් අනුමාන කරන්න පුළුවන්.

විජය කුමරු ලංකාවට පැමිණීමෙන් පසු ඉන්දියාවේ සිට විටින් විට පැමිණි ආර්ය කණ්ඩායම්වල බුදුරජාණන් වහන්සේගේ වංශයට අයත් ශාක්‍ය වංශිකයන්ද වූවා. විශේෂයෙන්ම පණ්ඩුවාසදේවගේ අග මෙහෙසිය වශයෙන් පැමිණි ශාක්‍ය වංශික භද්දකච්චායනා කුමරියත්, ඇගේ පිරිසේ වැඩි දෙනෙකුත් බෞද්ධයන් වන්නට ඇතැයි විශ්වාස කළ හැක්කේ ඒ නිසාවෙන්.

මීට අමතරව ඉන්දියාවේ සිට පැමිණි වෙළෙඳුන් හරහාත් ලාංකිකයින් බුදු දහම ගැන අසා තිබුණා විය යුතුයි. ඒ හැරත් ධර්මාශෝක අධිරාජයාගේ ධර්ම විජය ව්‍යාපාරය පිළිබඳ සටහන් අනුව පැහැදිලි වන්නේ මහින්දාගමනයට පෙර සිටම එතුමාගේ දූතයන් ලංකාවට පැමිණ සිටි බව.

මේ සියළු කාරණා මගින් පැහැදිලි වන්නේ ලක්වාසීන් මහින්දාගමනයට පෙර සිටම බුදු දහම දැන සිටිය බව. ඒ කෙසේ වෙතත් ලංකාව තුළ නියමාකාරයෙන් බුදු සසුන පිහිටුවීම සිදු වුණේ මිහිඳු මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් බව අවිවාදයෙන් යුතුව පිළිගන්න සිදු වෙනවා.

ඔබට පින්බර පොසොන් මංගල්‍යයක් වේවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *