උඩරට අලුත් අවුරුද්ද විදේශිකයෝ දැකපු හැටි

සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ ශ්‍රී ලාංකිකයන් යටත් විජිත සමයට පෙර සිටම ජාතික වැදගත්කමකින් යුතුව සමරපු උත්සවයක්. ඉතින් මේ උත්සවය ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය ජාතිකයෝ දැක්කේ කොහොමද කියලා සොයා බලන්නයි මේ සූදානම. මේ ගැන තමන් විසින් ලංකාව ගැන රචනා කරපු පොත්වල සටහන් කරපු පුද්ගලයෝ දෙදෙනෙක් විදිහට රොබට් නොක්ස් සහ ජෝන් ඩේවි හඳුනාගන්න පුළුවන්.

නාවික කපිතාන්වරයෙක් වුණ රොබට් නොක්ස් 1660දී ලංකාවට පැමිණියේ තමන් ගමන් කරමින් හිටපු නෞකාවේ නඩත්තු කටයුත්තක් කර ගැනීමේ අදහසින්. නමුත් දෙවන රාජසිංහ රජතුමා මොහු ඇතුළු කණ්ඩායමට උඩරට රාජධානියෙන් පිටවීම තහනම් කළා. ඒ නිසාවෙන් ලංකාවේ වසර 19 ජීවත් වුණ රොබට් නොක්ස් ඒ කාලයේදී තමන් අහපු දැකපු දේවල් ඇසුරු කරගෙන තමයි ‘An Historical Relation of the Island Ceylon’ නම් කෘතිය රචනා කළේ. මෙය ඩේවිඩ් කරුණාරත්නයන් සිංහලයට පරිවර්තනය කළේ ‘එදා හෙළදිව’ නමින්.

නොක්ස් සිය පොතේ සඳහන් කරන විදිහට එවකට අලුත් අවුරුද්ද යෙදිලා තියෙන්නේ මාර්තු මස 26, 28 හෝ 29 වගේ දවසක. එදින නැකැත්කරුවන්ගේ උපදෙස් පරිදි රජතුමා ඉස සෝදන බවයි නොක්ස් කියන්නේ. අලුත් අවුරුද්ද ගැන තවදුරටත් එදා හෙළදිව පොතේ සඳහන් වෙන්නේ මේ විදිහට;
“සිංහල අලුත් අවුරුදු උත්සවය වූ කලී ලක්වැසියන් ඉතා වැදගත් කොට සලකන උළෙලකි. මේ දින රාජ මාලිගයේ දොරටුවක් පාසා තොරන් බැඳ සරසති.”
“සිංහල අවුරුදු මංගල්‍යය දා බලමුළු පෙළ සැදී මහ වාසල අරක් ගනිති. උදෑසනක් සේම අවදිවන රජතුමා මීට කලින්ද කියූ පරිදි ස්නානය පිණිස පැන්ගෙට ප්‍රවිෂ්ඨ වන්නේය. එම උල් පැන් ගෙයි දිය වඩන නිලධාරියා රජුට මෙහෙ පිණිස සැරසී සිටී. රජ්ජුරුවෝ හිස් සෝදා නා පියා සර්වාභාරණ විභූෂිතව සන්නාහ සන්නද්ධව පෙළ සැදී සිට ගත් බල සෙනඟ පරීක්ෂා කිරීම සඳහා මාලිගාවෙන් නික්මෙති. එම මොහොතෙහි ආචාර වෙඩි මුර කීපයක් තබනු ලැබේ.”
අනතුරුව අදිකාරම්, දිසාපති ආදී රජයේ උසස් නිලධාරීන් රජතුමාට රත්රන් ආභාරණ, ලෝහමය තැටි, අවි ආයුධ, පිහිය සහ වස්ත්‍රාදිය ප්‍රදානය කරද්දී එවැනි දේ නැති අය ඒ වෙනුවට මුදල් ප්‍රදානය කරලා තියෙනවා. නොක්ස් මේ ආකාරයට අලුත් අවුරුද්ද ගැන කතා කරන්නේ එවකට පැවති ‘අලුත් අවුරුදු බද්ද’ නැමති බද්දක් සම්බන්ධව සඳහන් කිරීමේදී.

ජොන් ඩේවි කියන්නේ ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයෙක් විදිහට කටයුතු කරපු රොබට් බ්‍රවුන්රිගේ පෞද්ගලික වෛද්‍යවරයා. 1816 සිට 1820 දක්වා සේවය කළ ඔහු ඒ කාලය අතරතුර ලංකාව පුරා සංචාරය කරද්දී දැකපු ලාංකික සමාජ, ආර්ථික, ආගමික හා සංස්කෘතික කාරණා පදනම් කරගෙන ‍ලියූ විශිෂ්ටතම කෘතිය වශයෙන් හඳුන්වා දෙන්නේ ‘An Account of the Interior of Ceylon, and of its Inhabitants’ නම් කෘතිය. මෙය ‘ඩේවි දුටු ලංකාව’ නමින් සිංහලයට පරිවර්තනය කළේ ඇල්ලේපොළ එච්.එම් සොමරත්නයන් විසින්.

මෙහි විශේෂත්වය වන්නේ රජතුමා නානුමුර මංගල්‍යයට සහභාගි වීම ආදී කරුණු පිළිබඳවත් ඩේවි කරුණු දක්වා තිබීමයි. එහි අලුත් අවුරුද්ද ගැන සඳහන් කරන්නේ; “අලුත් අවුරුද්ද එළඹීමට පෙර ඇතැම් කටයුතු ඉටු කිරීමට රාජ්‍ය වෛද්‍යවරයන්ගෙන් හා දෛවඥයන්ගෙන් අපේක්ෂිත විය. වනෞෂධ යුෂ යොදා කුඩා මුට්ටි දහසක් නාථ දේවාලයේ දී පිළියෙල කිරීම පිළිබඳ කටයුතු පරිපාලනය පළමු වැන්නන්ට භාර විය. මනාව වසා මුද්‍රා තබන ලද මේ මුට්ටි මාලිගාවට සහ අන් විහාර දේවාලවලට මහ පෙරහරින් යැවිය යුතුය.” ඩේවි දෛවඥයන්ගේ රාජකාරිය විදිහට දක්වන්නේ අලුත් අවුරුද්ද පටන් ගන්නා දිනය හා නියම මොහොත, ඖෂධ යුෂය භාවිතා කොට හිස් සෝදා නෑමට සුදුසු නැකැත, ආහාර අනුභවයට සුදුසු නැකැත, වැඩ ඇල්ලීමට සුදුසු නැකැත සහ රජුට තෑගි බෝග පිරි නැමීමට සුදුසු නැකැත ඇතුළත් නැකැත් පත්‍රයක් සකස් කිරීමයි. සිංහල අවුරුදු නැකැත් වේලාවට ඇතැම් පවුල්වල තරුණියෝ දැල්වූ පන්දම් ගත් අත් ඇතිව හාල් සහ කහ වතුර සහිත රිදී තලියක් ගෙන රජුට මඳක් ඈතින් සිට රජතුමා ගිනිකොණ දෙසට හැරී ඉඹුල් කොළ පාගාගෙන නුග කොළ අතැතිව ඖෂධ යුෂය හිසේ සහ සිරුරේ ගා ගත් විට තරුණියෝ “අප මහ රජතුමාණෝ පස්වා දහසක් දිගා සිරි වලඳත්වා, ඉර හඳ පවත්නා තෙක් දිගාසිරි වලඳත්වා” වශයෙන් තෙවරක් ශුභ ප්‍රාර්ථනා කළ බවයි ඩේවි පවසන්නේ.

තව දුරටත් අලුත් අවුරුද්ද පිළිබඳව සඳහන් කරන ජොන් ඩේවි කියන්නේ අලුත් අවුරුදු උත්සවය නියමිත ‍මොහොතේ රජතුමා සිය මේසය මත පිළියෙල කර ‘දින භෝජම’ නම් ආහාරය පළමුව රස බලා එහි රැස් වූ නිලමේවරුන්ට ඉන් කොටසක් බෙදූ බවයි. රජතුමා එදින රාත්‍රි භෝජන සංග්‍රහයටත් නිලමේවරුන්ට ආරාධනා කරලා තියෙනවා. එවකට අලුත් අවුරුද්ද පටන් ගැනීමේ නැකැත යෙදෙන මොහොත දක්වා වූ කාලය තුළ ගින්නෙන් පිසන ලද ආහාර අනුභවය තහනම්. නමුත් මෙය වෙළෙඳාම පටන් ගැනීමට හොඳ ශුභ මො‍හොතක්.
මේ අවස්ථාවේ නිලමේවරු හාල්, පොල්, පලතුරු ආදිය මහ ගබඩාවට යැවූ අතර මේ මොහොතේදීම මිනිසුන් හැම දෙනම ඔවුනට තෑගි බෝග පිරි නැමූ බවත්, මහ ගබඩාව විවෘතව තිබූ හෙයින් මහජනයාට තමන් කැමති ලෙස බඩු මුට්ටු මාරු කර ගැනීමට අවසර ලැබුණු බවත් ජෝන් ඩේවි සිය කෘතියෙන් විස්තර කරනවා.

කාලයත් එක්ක අලුත් අවුරුද්ද සමරන ආකාරය වෙනස් වීම්වලට බඳුන් වෙලා තියෙන බවයි පෙනී යන්නේ. කෙසේ නමුත් ලාංකීය සංස්කෘතිය හා බැඳී පවතින සිංහල දෙමළ අලුත් අවුරුද්ද අනාගත පරපුර වෙත රැගෙන යාම අපේ යුතුකමක්.

ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබට සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *