අතීතයේ සිටම ලක්වාසී මෙන්ම ලෝකවාසී බෞද්ධ ජනතාව බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිණිවන් පෑම යන තෙමඟුල සිහි කරමින් සෑම වසරකම වෙසක් උත්සවය සමරනවා. පාහියන් භික්ෂුවගේ දේශාටන වාර්තා මගින් හෙළි වන්නේ පුරාණ බෞද්ධ උත්සවයක් ලෙස වෙසක් උත්සවය ඉන්දියාවේ පවා පැවැත්වුණ බවයි. ක්‍රි.පූ. තුන්වන සියවසයේදී දේවානම්පියතිස්ස රජ දවස මෙරටට බුදු දහම ලැබීමත් සමඟ මෙරට වෙසක් උත්සවය සැමරීම ආරම්භ වන්නට ඇතැයි විශ්වාස කිරීමට පුළුවන්. එතැන් පටන් ශ්‍රී ලංකාව තුළ වෙසක් සැමරීම වුණ ආකාරය පිළිබඳවයි මේ සොයා බැලීම.
ශ්‍රී ලංකාවේ පැවත්වූ වෙසක් උත්සවයක් පිළිබඳ පැරණිම වාර්තාව හමුවන්නේ මහාවංශයෙන්. දුටුගැමුණු රජතුමා වෙසක් උත්සව විසි හතරක් පවත්වා තිබෙන බව එහි සඳහන් වන්නේ මේ ආකාරයට.
මහා වෙසාබ පුජා ව චතුසහි කාරයිං
දීපෙ සංඝස්ස හික්ඛංතුං තිවිවරමදාපායි
දුටුගැමුණු රජතුමාගෙන් පසුව රාජ්‍යත්වයට පත් රජවරුද අඛණ්ඩව වෙසක් උත්සවය පවත්වා තිබෙනවා. ඒ බව වෙසක් උත්සව විසි අටක් කළ භාතිය රජතුමා බුද්ධ රූපය තනා රථයක තැන්පත් කොට වීථි සංචාරය කරමින් උත්සවය පැවැත්වීම, වසභ රජතුමා විසින් ඔටුනු පළන් වර්ෂයේ පටන් පිළිවෙළින් වෙසක් උත්සව හතළිස් හතරක් පැවැත්වීම, වෝහාරතිස්ස රජතුමා වෙසක් උත්සවය සිදුකොට ලක්දිව සියලු භික්ෂුන් වහන්සේට තුන් සිවුරු පිදීම, ගෝඨාභය රජතුමා වසරක් පාසා මහා වෙසක් පූජා පවත්වා සංඝයාට ෂට් චීවර පූජා කිරීම වැනි අවස්ථා මගින් තහවුරු වෙනවා.
වෙසක් උත්සවය මෙන්ම අනෙකුත් බෞද්ධ උත්සව ද දෙවන මොග්ගල්ලාන රජතුමා විසින් පැවැත්වූ බවයි චූලවංශයේ දැක්වෙන්නේ. දෙවන සේන රජතුමා වෙසක් උත්සව පවත්වා දුප්පතුන්ට ආහාර පාන සහ වස්ත්‍රාභරණ ආදිය ලබා දී ඔවුන් සමග ප්‍රීති වී තිබෙනවා. මින් පැහැදිලි වන්නේ ඒ කාලය වන විට වෙසක් ආගමික උත්සවයකින් ඔබ්බට ගොස් ජාතික උත්සවයක් බවට පත්ව තිබූ බවයි. මහාවංශයේ “වෙසාබ කීලං” නොහොත් “වෙසක් කෙළි” යනුවෙන් සඳහන් වීම මීට සාක්ෂි සපයනවා. මේ අනුව රාජ්‍ය චාරිත්‍රයක් ලෙස සෑම රජ කෙනකුම අනිවාර්යයෙන් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් විශාල ප්‍රමාණයක් වෙසක් උත්සවය සඳහා වෙන් කර තිබෙනවා. මෙය පොළොන්නරු යුගය වන විට තව තවත් දියුණුවට පත් වූ බවයි කියවෙන්නේ.
දඹදෙණි යුගයේ දෙවන පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ මූලිකත්වයෙන් පැවැත්වූ චමත්කාරජනක වෙසක් උත්සවයක් පිළිබඳ වාර්තාවක් පූජාවලිය තුළ හමුවෙනවා. පුරාතනයේ පැවැති වෙසක් උත්සවයක නියම ස්වරූපය විස්තර කෙරෙන එහි ‘බුදු මඟුල’ ලෙස සඳහන් කර ඇත්තේ වෙසක් උත්සවය බව පැහැදිලියි.
නමුත් කෝට්ටේ යුගයට එන විට වෙසක් උත්සව ගැන සඳහන් කරුණු විරල ස්වභාවයක් ගන්නවා. බුද්ධ පූජා පැවැත් වූ රජවරුන් රාශියක් ගැන සඳහන් වෙතත් ඒවා වෙසක් උත්සව දැයි නිර්ණය කිරීම අපහසුයි.
නුවර යුගයේ මෙරට පැවැති උත්සව හතරක් ගැන සඳහන් වෙනවා. ඒ අතරින් එහි පළමුවැන්න වෙසක් උළෙල ලෙසයි දක්වා ඇත්තේ. තවද වෙසක් උත්සවය පැවැත්විය යුතු ආකාරය දක්වමින් සම්මත නීති මාලාවක් ද එකල පැවැති බව මහාවංසයෙන් තහවුරු වෙනවා.
කෙසේ වෙතත් 17 වැනි සියවසේ ලියැවුණු රොබට් නොක්ස්ගේ An Historical Relation of the Island Ceylon (එදා හෙළදිව), 19 වැනි සියවසේ ලියැවුණු ජෝන් ඩේව්ගේ An Account of The Interior Of Ceylon and Of its Inhabitants (ඩේවි දුටු ලංකාව) වැනි කෘතිවල වෙසක් උත්සවය ගැන සඳහනක් වී නැහැ. ඊට හේතුව වෙසක් උත්සවය නොපැවැත්වීම හෝ රචකයා එය නොවැදගත් යැයි සිතීම වන්න පුළුවන්.
දේවානම්පියතිස්ස රජතුමාගේ කාලයේ සිට අවුරුදු දෙදහසකට අධික කාලයක් ලාංකික ජනතාව භූක්ති විඳි වෙසක් නිවාඩුව 1770 නොවැම්බර් පළමු වැනිදා එවක ලන්දේසි ආණ්ඩුකාරයා විසින් ඔවුන්ගේ අණසක පිහිටුවා තිබූ මුහුදුබඩ පළාත් වල තහනම් කිරීමට කටයුතු කළා. 1815 දී සම්පූර්ණ රටම යටත් කරගත් බ්‍රිතාන්‍ය ජාතිකයන් 1817 දී වෙසක් නිවාඩු තහනම රට පුරා ක්‍රියාත්මක කළා.
පසුව හෙන්රි ස්ටීල් ඕල්කොට්තුමා මෙරට බෞද්ධ ජනතාවට වන කෙනෙහිලිකම් පිළිබඳව යටත් විජිත ලේකම්වරයාව දැනුවත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි වෙසක් පොහෝ දින නිවාඩුව ලබා දීමට එකඟ වී 1885.03.27 දින ගැසට් මගින් ප්‍රසිද්ධ කිරීම සිදු කෙරුණේ.
අද වන විට වෙසක් පොහෝ දිනය අන්තර්ජාතික වශයෙන් පිළිගන්නා දිනයක්. 1999.12.13 දා එක්සත් ජාතීන්ගේ 54 වැනි සැසි වාරයේ දී අනිකුත් බෞද්ධ රටවල ද එකඟත්වයෙනුයි එය සම්මත කරගත්තේ. ඒ වෙනුවෙන් කැප වී ක්‍රියා කළේ දිවංගත ලක්ෂ්මන් කදිරගාමර් මහතා බවත් මෙහිදී අනිවාර්යයෙන් සිහිපත් කළ යුතුම කාරණයක්.
FOLLOW US ON :