හොන්ඩාගේ කතාව

1906දී ජපානයේ ෆුජී කඳු පාමුල කුඩා ගම්මානයක විසූ යකඩ කර්මාන්තයේ නියුතු පියෙකුට සහ රෙදි විවීමේ නියැලුණු මවකට දාව දරුවෙක් උපත ලැබුවා. ඔහුට නම් තැබුවේ සොයිචිරෝ හොන්ඩා විදිහට. දෙමව්පියන් කුඩා සොයිචිරෝව පාසල් යවන්නේ ආර්ථික අපහසුතා මැද. නමුත් ඔහු ජපානයේ පැවති කටපාඩම් කිරීම මත පදනම් වුණ සාම්ප්‍රදායික අධ්‍යාපනය හමුවේ දක්ෂ වුණේ නැහැ. සොයිචිරෝගේ වැඩි කැමැත්තක් තිබුණේ නව නිපැයුම් සහ විශේෂයෙන් වාහන, යන්ත්‍ර සූත්‍ර වගේ දේවල් වලට.

ගමේ තවදුරටත් රැදී සිටීමෙන් දියුණු වෙන්න බැරි බව තේරුම් ගත්ත සොයිචිරෝ වයස අවුරුදු 15දී ටෝකියෝ වෙත පැමිණෙන්නේ ගරාජයක රැකියාවකට. නමුත් ඔහුට එහි වැඩ කරන්න අමාරු වෙයි කියලා හිතපු ගරාජයේ හිමිකරු සොයිචිරෝට පවරන්නේ තමන්ගේ දරුවන් බලා ගන්න. ඒ අතරතුර ලැබුණ කාලයේදී ටිකෙන් ටික වාහන පිළිබඳව ඉගෙන ගත්ත ඔහු වසර 6ක් ඇතුලත වාහනයේ හඬ අහපු ගමන් දෝෂය කියන්න තරම් දක්ෂ කාර්මිකයෙක් වුණ බවයි සඳහන් වෙන්නේ.

1928දී, වයස 22දී සොයිචිරෝ හොන්ඩා නැවතත් සිය ගමට ඇවිත් තමන්ගේ ගෙදර රථ වාහන සහ යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා කරන වැඩපළක් ආරම්භ කළා. කෙටි කාලයකින් ඔහු ප්‍රසිද්ධ වුණේ අනිත් කාර්මිකයන්ට හදන්න අමාරු වාහන කෙටි කාලයකින් සාර්ථකව හදලා දෙනවා කියලා.

මෝටර් රථ ධාවනයේද දක්ෂයෙක් වුණ සොයිචිරෝ හට එවකට ජපානයේ ජනප්‍රිය වෙමින් පැවතුණ මෝටර් රථ තරඟ සඳහා තරග වදින්න ආරාධනා ලැබෙන්නේ මේ අතරතුර. ඒ අනුවයි ඔහු 1936දී ජපානයේ පළමු ජාතික මෝටර් රථ තරඟාවලියට සහභාගී වුණේ. එහිදී Ford වර්ගයේ මෝටර් රථයක් ධාවනය කළ සොයිචිරෝට තරගය අතරතුර අවාසනාවන්ත විදිහට සිය රථය ධාවන පථයෙන් ඉවතට විසි වෙලා ඉන් ඔහුගේ ඇසකට බරපතල විදිහට හානි සිදු වෙනවා. ඉන් අනතුරුව ඔහු මෝටර් රථ ධාවනය නොකළ බවයි කිය වෙන්නේ.

1937දී Tokai Seiki නම් සමාගම ආරම්භ කරපු සොයිචිරෝ, Toyota සමාගමට piston rings සැපයීම මගින් සාර්ථකව ලාබ ලැබීමට සමත් වුණා. නමුත් 1944දී දෙවන ලෝක මහා සංග්‍රාමය අතරතුර ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් ඔහුගේ එක් කර්මාන්ත ශාලාවකුත්, 1945දී ඇති වූ භූමිකම්පාවකින් තවත් කර්මාන්ත ශාලාවකුත් සම්පූර්ණයෙන්ම විනාශ වී යනවා. එහෙත් සිය ගමන අත් නොහළ ඔහු සිය බිමට සමතලා වී ගිය කර්මාන්ත ශාලාවල යකඩ සුන්බුන් යෙන් 450,000කට Toyota සමාගමට විකුණා දමනවා.

සොයිචිරෝ හොන්ඩා 1947දී අලුත් ව්‍යාපරයක් අරඹන්නේ Honda Technical Research Institute නම් පරීක්ෂණ සහ අත්හදා බැලීම් සදහා ආයතනයක් බිහි කරමින්. මේ යටතේ 1948 වසරේ සිට විවිධාකාරයේ මෝටර් ස‍යිකල් හදුන්වා දීම සිදු කෙරුණා. ඉන් නොනැවතුන Honda සමාගම මෝටර් සයිකල් ධාවන තරග ඉලක්ක කරගෙන racing පන්නයේ මෝටර් සයිකල් ද නිර්මාණය කළා. 1959දී ඇමරිකාවට හදුන්වා දුන් Honda සමාගමේ මෝටර් ස‍යිකල්, Harley-Davidson මෝටර් සයිකල් වලට වඩා ජනප්‍රිය වූ බවයි සඳහන් වෙන්නේ. ජපානයේ ඈත ගමක දුප්පත් පවුලක උපන් සොයිචිරෝ හොන්ඩා කෝටිපති ව්‍යාපාරිකයෙක් වෙන්නේ මේ අවදියේදී. ඒ Honda සමාගම 1960 ගණන්වල ලොව විශාලම මෝටර් සයිකල් සමාගම බවට පත් වෙමින්.ඉන් නොනැවතී මෝටර් රථ වෙළදපොළ ද ආක්‍රමණය කළ Honda සමාගම 1990 පමණ වන විට ලොව තුන් වෙනියට විශාලම මෝටර් රථ සමාගම බවටත් පත් වුණා.

1973 දක්වා Honda සමාගමේ සභාපතිත්වය දැරූ සොයිචිරෝ හොන්ඩා පසුකාලීනව එහි උපදේශකවරයෙක් ලෙසද කටයුතු කොට 1991දී සිය ජීවන ගමන අවසන් කළා. ඔහුගේ ජීවිත කතාව තුළින් පැහැදි වන්නේ ඔහු හුදු දක්ෂයෙක් පමණක්ම නොව, තම සිහිර පසුපස හබාගොස් ඒවා ළගා කරගත් අප්‍රතිහත ධෛර්යයකින් යුතු පුද්ගලයෙක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *