19 වන සියවස යනු ගණිතයේ සහ විද්‍යාවේ කැපී පෙනෙන දියුණුවක් සිදු වූ යුගයකි. එම දියුණුවේ කොටස්කරුවන් වූවන් අතර කාන්තාවක් ලෙස ඉදිරියෙන්ම කියවෙන නමකි, ඇඩා ලව්ලේස් (Ada Lovelace). ලොව ප්‍රථම පරිගණක ක්‍රමලේඛිකාව ලෙස ප්‍රසිද්ධියට පත් ඈ පිළිබඳවයි මේ කෙටි සටහන.
1815 දී ලන්ඩනයේ උපත ලැබූ ඇඩාගේ පියා කවියෙකි. නමුත් ඇගේ මව ගණිතයට ඇලුම් කළ නිසාවෙන් කුඩා කාලයේ සිටම ඇඩා හට ගණිතය, විද්‍යාව, තර්කනය වැනි විෂයයන් හැදෑරීමට අවස්තාව හිමි විය. යන්ත්‍ර සූත්‍ර ආදිය පිළිබඳව උනන්දු වූ ඇඩා එවකට කාර්මික විප්ලවය අවධියේ සඟරාවල පළ වූ නව නිපැයුම්වල රූප සටහන් පරික්ෂා කිරීමට පුරුදු වී සිටි බව සඳහන්.
1833 දී ඇඩා හට සිය උපදේශකවරිය හරහා චාල්ස් බැබේජ් හඳුනා ගැනීමට අවස්තාව ලැබුණි. ඒ වන විට බැබේජ් ගණනය කිරීමේ යන්ත්‍ර පිළිබඳව ක්ෂේත්‍රයේ සැළකිය යුතු තරමේ ජනප්‍රියතාවයක් ලබා සිටියේය. ඔහු විසින් මීට පෙර නිර්මාණය කළ අවකල එන්ජිමේ (Difference engine) අනුප්‍රාප්තිකයා ලෙස නිර්මාණය කෙරෙමින් පැවති විශ්ලේෂණ එන්ජිමේ (Analytical engine) කටයුතු සමඟ සම්බන්ධ වීමේ අවස්තාව ඇඩා හට හිමි වුණේ ඒ අනුවයි.
ඇඩා 1842 දී ඉතාලි ජාතික ගණිතඥ ලුයිගි මෙනබ්‍රියා (Luigi Menabrea) විසින් විශ්ලේෂණ එන්ජිම පිළිබඳව ප්‍රංශ බසින් පළ කළ ලිපියක් එංගලන්තයේ ප්‍රකාශනය සඳහා පරිවර්තනය කළාය. එහිදී ඊට ඇගේ සටහන් ද එකතු කිරීමට කටයුතු කර තිබුණි. එබැවින් එම පරිවර්තිත ලිපිය මුල් ලිපිය මෙන් තුන් ගුණයකට වඩා දිගින් වැඩි වි තිබේ. ඇය විසින් එකතු කළ සටහන් අතර බර්නූලි සංඛ්‍යා ගණනය කිරීම සඳහා ක්‍රමවත් උපදෙස් ඇතුළත් ඇල්ගොරිතමයක් (“Note G” algorithm) දක්වා තිබේ. ලොව පළමු පරිගණක වැඩසටහන ලෙස හඳුනා ගන්නේ මෙයයි.
ක්ෂේත්‍රයට ඇඩාගේ දායකත්වය හුදෙක් ඇල්ගොරිතමයක් ලිවීමෙන් ඔබ්බට ගියේය. පරිගණකවල විභවය පිළිබඳව දූරදර්ශී වූ ඇය පරිගණක සංගීතය නිර්මාණයට, ග්‍රැෆික්ස් නිෂ්පාදනයට මෙන්ම විද්‍යාත්මක පර්යේෂණ සඳහා සහාය වීමටද යොදා ගත හැකි බව පුරෝකථනය කළාය. ඇගේ තීක්ෂ්ණ බුද්ධිය පෙරළිකාර වූ අතර ඇගේ කාලයට වඩා සැලකිය යුතු ලෙස ඉදිරියෙන් තිබූ බව පැහැදිලිය.
පරිගණක ක්ෂේත්‍රයට තවදුරටත් දැවැන්ත දායකත්වයක් ලබා දීමේ හැකියාව සතු වූවත් පිළිකාවක් වැළදීම නිසා ඇඩා වයස අවුරුදු 36 දී සිය ජීවන ගමනට සමු දුන්නාය. නමුත් ඇය ජීවත් ව සිටි කෙටි කාලය තුළ සිදු කළ සේවය අදටත් පිළිගැනීමට ලක් වේ.
ඇඩා ලව්ලේස් හට ගරු කිරීමක් ලෙස පසු කාලීන ක්‍රමලේඛන භාෂාවක් Ada ලෙස නම් කෙරුණි. එමෙන්ම විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය යන ක්ෂේත්‍රයන් හි කාන්තාවන්ගේ ජයග්‍රහණ සමරෙන ඇඩා ලව්ලේස් ජාත්‍යන්තර දිනය සෑම වර්ෂයකම ඔක්තෝබර් මස දෙවන අඟහරුවාදා දිනට යෙදී ඇත.
තාක්ෂණික ක්ෂේත්‍රය කෙරෙහි ඇඩා සතු වූ විභවය, ඇල්ම සහ දැක්ම ක්ෂේත්‍රය කෙරෙහි අලුතින් යොමු වීමට අපේක්ෂා කරන තරුණියන් හට ආදර්ශයක් වන බව නොඅනුමානය.