ශ්‍රී ලංකාවේ ප්‍රථම LNG බලාගාරය – සොබාදනවි

2014 වසරෙන් පස්සේ ඉදිකෙරෙන පළවෙනිම ප්‍රධාන පෙළේ බලාගාරය විදිහට කෙරවලපිටිය සොභාදනවි බලාගාරය හඳුන්වා දෙන්න පුළුවන්. මේ විදුලි බලාගාරය ඉදි කරන්නේ LTL සමූහයට අනුබද්ධ ලක්දනවි ආයතනය මගින්. 100%ක්ම දේශීය ඉංජිනේරුවන්ගේ නිර්මාණයක් වන මෙහි සම්පූර්ණ මෙහෙයුම් හා නඩත්තු කටයුතු සිදු කරන්නෙත් දේශීය ඉංජිනේරුවන් විසින්.

ස්වභාවික ද්‍රව වායු (LNG) බලාගාරයක් වන මේ බලාගාරය තුළ භාවිත වන්නේ ද්විත්ව චක්‍ර තාක්ෂණය. ගෑස් ටර්බයිනය, බොයිලේරුව සහ හුමාල ටර්බයිනය කියන ප්‍රධාන අංග තුනෙන් සමන්විත මෙහි ගෑස් ටර්බයිනය හා ගෑස් ටර්බයින් ජෙනරේටරය මඟින් මෙගාවොට් 220කුත් හුමාල ටර්බයිනය හා හුමාල ටර්බයින් ජෙනරේටරය මගින් මෙගාවොට් 130කුත් වශයෙන් සමස්ත මෙගාවොට් 350 ක් ජාතික පද්ධතියට එකතු කිරීමට අපේක්ෂා කරනවා.

සාමාන්‍යයෙන් ගෑස් ටර්බයිනයක දහනයෙන් එළියට යන වායුව එළියට යන්නේ භාවිතයෙන් තොරව. ඒත් මෙහිදී ඒ වායුව බොයිලේරුවක් හරහා යවලා අපතේ යන ශක්තිය යොදාගෙන හුමාලය උත්පාදනය කරලා නැවතත් විදුලිය නිෂ්පාදනය කරවා ගැනීම සිදු කෙරෙනවා. එන්ජින් බලාගාරයක කාර්යක්ෂමතාව 42% පමණ වන නමුත් මේ බලාගාරයේ කාර්යක්ෂමතාව 52%ක අගයක් ගන්නේ මේ නිසාවෙන්. ස්වභාවික ද්‍රව වායුවලට අමතරව විදුලිය නිෂ්පාදනයට ඩීසල් යොදාගත හැකි වීම ගෑස් ටර්බයිනයේ විශේෂ ලක්ෂණයක්. ඒ වගේම LNG යොදාගෙන විදුලි නිෂ්පාදනයේදී වන පිරිවැය ගල් අඟුරු වලට වඩා අඩු‍යි. අනිත් කාරණාව තමයි ඩීසල් යොදාගෙන විදුලිය නිපදවීම ගැන සළකනකොට සාමාන්‍ය ඩිසල් බලාගාරයකට වඩා මෙහි ඇති ඉහළ කාර්යක්ෂමතාව නිසා එක් විදුලි ඒකකයක් නිෂ්පාදනයට යන පිරිවැය අඩුයි.

සොබාදනවි බලාගාරයේ වැඩ කටයුතු භාර LNG සමාගම සැලකීමේදී එයාලා මීට කලින් මෙරට ඉදි කරපු බලාගාර විදිහට සපුගස්කන්ද, හෙළදනවි සහ යුගදනවි බලාගාර හඳුන්වා දෙන්න පුළුවන්. පළමු අදියර විදිහට මෙගාවොට් 220ක් 2024 වසරේදී ජාතික පද්ධතියට එකතු කළ අතර ඉතිරි මෙගාවොට් 130, 2025දී එකතු කරමින් සොබාදනවි බලාගාරයේ සම්පූර්ණ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කෙරෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *