කොළඹ ගාලු මුවදොරට පැමිණෙන ඔබට නිසැකවම ඇස ගැසෙන මේ සුවිසල් නිර්මාණය තමයි Ahasa One ගුවන් පාලම. මේ පාලමෙන් යා කරන්නේ මීටර් 140ක් උස ITC One හෝටලය සහ මීටර් 240ක් උස සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් වන Sapphire Residences කුලුන. මේ වගේ ඉදිකිරීමක් දකුණු ආසියාවේ සිදුකළ පළමු අවස්ථාව තමයි මේ.
සම්පූර්ණ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 400කට අධික මේ ව්‍යාපෘතිය දියත් කළේ ඉන්දියාවේ ITC සමාගමට පූර්ණ අනුබද්ධ WELCOMHOTELS LANKA පෞද්ගලික සමාගම. ඉදිකිරිම් ඇමරිකා එක්සත් ජනපදයේ Gensler සමාගමේ සංකල්පයකට අනුව Gensler සහ Thornton Tomasetti සමාගම්වල ඉංජිනේරු තාක්ෂණයත් Larsen & Toubro, Sterling Engineering යන උපදේශන ආයතන වල මගපෙන්වීමත් මත සිදු වුණා.
මෙට්‍රික් ටොන් 1500ක් විතර බර මෙම ගුවන්පාලමේ දැවැන්ත යකඩ සැකිල්ල ඉදි කරලා තියෙන්නේ ඉන්දියාවේ කාංචිපුරම්වල කාර්මික හා තාක්ෂණික කණ්ඩායමක්. ඔවුන් මේකට රටවල් කිහිපයකින් ආනයනය කරපු වානේ යොදාගෙන තියෙනවා. කොටස් වශයෙන් නිර්මාණය කරපු පාලම එකලස් කරලා නියමිත බර පරීක්ෂණය සමත් වුණාට පස්සේ නැවතත් කොටස් වලට වෙන් කරලා චෙන්නායි වරාය හරහා කොළඹට රැගෙන ආවා. බිම් මට්ටමේ දී විශාල ලෝහ රාමුවක් මත එකලස් කරපු පාලම ඉහලට එසවූයේ හයිඩ්‍රොලික් ජැක් යොදාගෙනයි.
දිග මීටර් 55ක්, පළල මීටර් 18ක් වෙන Ahasa One පාලම මුහුදු මට්ටමේ ඉදන් මීටර් 100ක් ඉහළින් ගොඩනැගිලි දෙකේ 19, 20, 21 මහල් එකිනෙක සම්බන්ධ කරනවා. මේකේ තියෙන්නේ පිහිනුම් තටාක දෙකක් සහ සුඛෝපභෝගී අවන්හලක්. ඉදිකිරීම අවසානයේ සම්පූර්ණ පාලමේ බර මෙට්‍රික් ටොන් 3000ක් විතර වෙනවා. ඒ නිසා මේ බර දරා ගන්න පුළුවන් විදිහට ගොඩනැගිල්ලේ පාදම හදලා තියෙන්නේ යකඩ මෙට්‍රික් ටොන් 450ක් යොදා ගෙන. කැපී පෙනෙන ලක්ෂණය වෙන්නේ මේ සම්පූර්ණ සැකිල්ල රඳා පවතින්නේ එකකට මෙට්‍රික් ටොන් 900 බැගින් බර දරන්න පුළුවන් බෙයාරින් අටක් මත පමණක් වීම.
මෙවැනි සුවිශේෂී ආයෝජනවලින් කොළඹ නගරයට ආකර්ශනීය බවක් ලැබෙනවා වගේම එය ශ්‍රී ලංකාව සංවර්ධනය කරා යන ගමනේ තවත් එක් සන්ධිස්ථානයක් වේවී.