අද වන විට ලොව ප්‍රමුඛ පෙළේ ආයතනවල ප්‍රධාන විධායක නිළධාරී (CEO) තනතුරට ආසියානුවන්, විශේෂයෙන් ඉන්දියානුවන් පත් වීම බොහොම සුලබ කාරණයක්. Microsoft ආයතනයේ CEO විදිහට 2014 වසරේදී තේරී පත් වුණ සත්‍යා නඩෙල්ලා මීට කදිම නිදසුනක්. 1967 දී ඉන්දියාවේ හයිද්‍රාබාද් හි උපන් නඩෙල්ලාගේ පියා පරිපාලන සේවා නිලධාරියෙක්. මව කථිකාචාර්යවරියක්.
මනිපාල් තාක්ෂණ ආයතනයෙන් විදුලි ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගන්නා ඔහු ඇමරිකා එක්සත් ජනපදයට යන්නේ පරිගණක විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කිරීමටයි. අනතුරුව Sun Microsystems හි තාක්ෂණික කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ නඩෙල්ලා Microsoft හා සම්බන්ධ වුණේ 1992 වසරේදී. ආරම්භයේදී ඔහු කටයුතු කළේ Microsoft හි Windows NT සහ වෙනත් cloud computing ව්‍යාපාර සහ ව්‍යවසායන් සංවර්ධනය කිරීමට. Microsoft හි පූර්ණ කාලීනව සේවය කරන අතරතුර ඔහු චිකාගෝ විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ගැනීමටත් කටයුතු කළා.
කෙටි කාලයක් තුළ සිය දක්ෂතාවය නිසා ඔහු 2001 වසරේදී ආයතනික උප සභාපති විදිහටත්, 2007 වසරේදී Microsoft හි online සේවා සඳහා පර්යේෂණ සහ සංවර්ධන අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති විදිහටත් උසස් වීම් ලබා ගන්න නඩෙල්ලා සමත් වෙනවා. 2011 දී සේවාදායක සහ මෙවලම් අංශයේ (the server and tools division) සභාපති බවට පත් වන ඔහු විසින් මෙහෙය වූ cloud computing ව්‍යාපෘතිය සමඟ, Microsoft හි ආදායම 2013 වසරේදී ඩොලර් බිලියන 16 සිට ඩොලර් බිලියන 20 දක්වා වැඩි වුණා.
Microsoft අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ එහි නිර්මාතෘ බිල් ගේට්ස්ගේ අවධානයට ලක් වූ සත්‍යා නඩෙල්ලා, 2014 පෙබරවාරි මාසයේදී Microsoft හි නව ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් පත් කෙරුණා. ඔහු යටතේ Microsoft සමාගම සිදු කළ කැපී පෙනෙන ව්‍යාපෘති අතරට LinkedIn, Xamarin, Activision Blizzard, Mojang වැනි සමාගම් අත්පත් කරගැනීම දක්වන්න පුළුවන්. ඒ වගේම මේ වන විට Xbox, office 365 සහ Bing වැනි සේවාවන් හි යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට කටයුතු කරලා තියෙනවා.
නඩෙල්ලා දියණියන් දෙදෙනෙකුගේ සහ එක් පුතෙකුගේ පියෙක්. නමුත් උපතින්ම ආබාධිත වූ ඔහුගේ පුතා වයස අවුරුදු 26දී, 2022 දී මිය යනවා. සිය පුතා පිළිබඳව අදහස් දක්වන නඩෙල්ලා පවසන්නේ විශේෂ අවශ්‍යතා ඇති දරුවෙකුගේ පියෙකු වීම ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වූ බවයි.
2018 සහ 2024 දී Time සඟරාව ප්‍රකාශයට පත් කළ බලවතුන් 100 අතරටත්, 2019 වසරේ Financial Times සඟරාවේ වසරේ පුද්ගලයා බවටත් තේරී පත්වන නඩෙල්ලා හට 2022 දී ඉන්දීය රජය, එරට තුන්වන ඉහළම සිවිල් සම්මානය වන පද්ම භූෂන් සම්මානය ප්‍රදානය කළා. ඒ වගේම ඔහුට 2024 ජනවාරි මාසයේ දී ජෝර්ජියා තාක්ෂණ ආයතනයෙන් ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමීමට කටයුතු කළා.
2021 වසරේ සිට Microsoft හි විධායක සභාපති ධූරය දරන්නේත් නඩෙල්ලා විසින් බව සිහිපත් කරන්නම ඕනෑ කාරණයක්.
සත්‍යා නඩෙල්ලා ජීවිත කතාවෙන් අපට ගන්න පුළුවන් හොඳම දේ තමයි ඉන්දියාවේ සාමාන්‍ය පවුලක, සාමාන්‍ය දරුවෙක් විදිහට ඉපදිලා මේ වෙනකොට ඔහු ඇවිත් තියෙන දුර. ඔහු මේ ගමන ඇවිත් තියෙන්නේ තමන්ගේ දක්ශතාවය, කැපවීම, අධිෂ්ඨානය වගේ කාරණා නිසා බව අවිවාදයෙන් පිළිගන්න සිදුවෙනවා.