ආචාර්ය අබ්දුල් කලාම් යනු ඉන්දියාවෙන් බිහි වූ කීර්තිමත් විද්‍යාඥයෙකි. කලක් එරට ජනාධිපතිවරයා ලෙසද කටයුතු කර ඇති ඒ මහතා 2011 වර්ෂයේදී මදුරාසියේ ඉන්දියානු තාක්ෂණ ආයතනයේ සිදු කළ දේශනයකදී අද්විතීය නො එසේනම් කිසිවෙකුට දෙවැනි නොවන පුද්ගලයෙක් බවට පත් වන ආකාරය පිළිබඳව රැස්ව සිටි විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමඟ සිය අදහස් බෙදා ගත්තේය. 2026 නව වසරේ ආරම්භය සනිටුහන් කරන අද දිනයේ අපි ඔබට එම දේශනයෙන් උපුටා ගත් කොටසක් ඉදිරිපත් කරන්නේ එදා කලාම් මැතිතුමා සදහන් කළ දේ මේ වර්ෂයේ ඔබට අද්විතීය පුද්ගලයෙක් බවට පත් වීමට මග පෙන්වන නිසාවෙනි.
“මට මෙහි සිටින සියලුම තරුණ තරුණියන් සමඟ අදහසක් බෙදා ගැනීමට අවශ්‍යයි. මම මේ දක්වා ඔබ වගේ තරුණයින් මිලියන 11 ක් මුණගැසී තිබෙනවා. මම ඔවුන්ගේ බලාපොරොත්තු දැකලා තිබෙනවා. වේදනාව අත්විඳ තිබෙනවා. අභිලාෂයන් සමඟ ගමන් කර තිබෙනවා. බලාපොරොත්තු සුන්වීම දැනිලා තිබෙනවා. මේ සියල්ලෙන් මම තාරුණ්‍යය ගැන යමක් ඉගෙන ගත්තා.
මම ඉගෙන ගත්තා සෑම යෞවනයෙක්ම, ඒ කියන්නේ ඔබ කැමතියි අද්විතීය වෙන්න. නමුත් ඔබ වටා තිබෙන ලෝකය දිවා රෑ නොබලා උපරිමයෙන් කටයුතු කරන්නේ ඔබව අනිත් අය වගේ කරන්න. දැන් ප්රශ්නය වෙන්නේ ඔබට අවශ්‍ය ඔබ වෙන්නද, නැත්නම් අනිත් අය වගේ වෙන්නද කියන එක.
අනිත් අය වගේ වීම බැලූ බැල්මට පහසුයි. නමුත් දීර්ඝ කාලීනව තෘප්තිමත් නැහැ. ඒ නිසා අභියෝගය වන්නේ ඔබ මිනිසෙකුට කවදා හෝ මුහුණ දිය හැකි දුෂ්කරම සටනට සටන් කිරීමයි. කිසි විටෙකත් ඔබ ඔබම වී ඔබේ නියමිත ස්ථානයට පැමිණෙන තුරු සටන් කිරීම නවත්වන්න එපා.
ඔබට අද්විතීය වීමට කරන්න තිබෙන්නේ ලොකු සටනක්. මේ සටන ජය ගැනීමට ඔබට තුවක්කුවක් අවශ්‍ය නැහැ. නමුත් ඔබට තිබිය යුතු දේවල් හතරක් තිබෙනවා. පළමුවැන්න ඉලක්කයක් තිබීම. දෙවැන්න අඛණ්ඩව දැනුම ලබා ගැනීම. තුන්වැන්න කැපවීමෙන් වෙහෙස මහන්සි වී වැඩ කිරීම. සිව්වැන්න නොපසුබට උත්සාහය. ඔබට මේ මෙවලම් හතර තිබෙනවා නම් නිසැකවම ඔබ අද්විතීය බවට පත් වේවි.
අද්විතීය වීමට විශිෂ්ටත්වයත් තිබීම අවශ්‍යයි. විශිෂ්ටත්වය යනු ස්වයං ආරෝපිත, ස්වයං පාලක ජීවිත කාලය පුරාම පවතින ක්‍රියාවලියක්.
විශිෂ්ටත්වය යනු කුමක්දැයි අපි වඩාත් විස්තරාත්මකව තේරුම් ගනිමු.
විශිෂ්ටත්වය අහම්බෙන් සිදු වූවක් නොවේ. එය පුද්ගලයෙක්, සංවිධානයක් හෝ රාජ්‍යයක් අඛණ්ඩව තමන්ව දියුණු කර ගැනීමට උත්සාහ කරන ක්‍රියාවලියක්. කාර්ය සාධන ප්රමිතීන් තමන් විසින්ම සකසා ගන්නා අතර, ඔවුන් තම සිහින කෙරෙහි අවධානයෙන් කටයුතු කරන්නේ ඉලක්ක ගත ප්‍රතිඵල ලබා ගැනීමේ අපේක්ෂාවෙන්. ඔවුන් කිසි විටකත් තම සිහින කරා ගමන් කරන විට අසාර්ථකත්වයන්ගෙන් පසුබට වන්නේ නැහැ.
ඉන්පසු ඔවුන් තම විභවයට නැඹුරු වන විට තමන්ගේ සිහින වැඩි කර ගන්නවා. එම ක්‍රියාවලියේදී ඔවුන් තම විභවය වැඩි කර ගන්නවා. මෙය නිමක් නැති චක්‍රීය සංසිද්ධියක්. ඔවුන් තරඟ කරන්නේ අන් කිසිවෙකු සමඟ නොව තමන් සමඟ. එයයි විශිෂ්ටත්වයේ ස්වභාවය.”