ලොව පළමු ට්‍රිලියනපති

පසුගිය සිකුරාදා (12) එලොන් මස්ක් ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත් වුණ බව ඔබ දැනටමත් දන්නවා ඇති. ඔහු තම ඉහළට යන ගමන ආරම්භ කළේ දරුණු මට්ටමේ අසාර්ථක වීම් මාලාවක් සමඟින්. වර්තමාන සාර්ථකත්වයට බොහෝ කලකට පෙර, එනම් 1999-2000 කාල වකවානුවේ ඔහුව Zip2 සහ X.com (පසුව PayPal බවට පත් වූ) යන සමාගම් දෙකෙහිම ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් ඉවත් කෙරුණා. තම අනාගත අභ්‍යවකාශ ව්‍යාපාරය සඳහා රොකට් මිලදී ගැනීමට උත්සාහ කළ විට රුසියානු රොකට් සැපයුම්කරුවන් ඔහුව සමච්චලයට ලක් කළා. SpaceX සමාගමේ ආරම්භක අවධියේ සිදු කළ Falcon 1 රොකට්ටුවේ පළමු දියත් කිරීම් තුනම සාර්ථක වුණේ නැහැ. මෙම පසුබෑම්, Tesla සමාගමේ වූ නිෂ්පාදන ප්‍රමාදයන් සහ මූල්‍යමය පීඩනය මෙන්ම ගෝලීය ආර්ථික අර්බුදය නිසා වර්ෂ 2008 වන විට ඔහුගේ සමාගම් දෙකම බංකොලොත් වීමට ආසන්න වූවා. ඒ මොහොතේ තමාගේ පෞද්ගලික ධනය සියල්ල අවදානමට ලක් කරමින් ආයෝජනය කර එම අර්බුදවලින් ජයග්‍රහණය කළේ අද ඔහු සතුව ඇති අතිමහත් ධනයට අඩිතාලම දමමින්. අද වන විට එලොන් මස්ක්ගේ වත්කම් බෙදී ගොස් තිබෙන්නේ කවර ආකාරයකටද? ඒ ගැනයි මේ.

මස්ක් වැන්නෙකුගේ ශුද්ධ වටිනාකම ගණනය කිරීම පහසු කාරණයක් නම් නොවේ. නමුත් ඔහුගේ ධනයෙන් වැඩි ප්‍රමාණයක් බැඳී පවතින්නේ පෞද්ගලික සමාගම් සමඟ බව පැහැදිලියි. ඒ අතරින් ඔහුට ධනය ගලා එන ප්‍රධාන ආකාර 3ක් හඳුනා ගැනීමට පුළුවන්. ඉන් විශාලතම කොටස වන්නේ SpaceX හි ඔහුට හිමි කොටස්. එම සමාගමේ කොටස්වලින් 40% ක් පමණ මස්ක්ට හිමි අතර ඒවායේ වටිනාකම ඩොලර් බිලියන 690 ක් පමණ වෙනවා. දෙවැන්න නම් විදුලි මෝටර් රථ නිෂ්පාදනය කරන Tesla සමාගමේ ඔහුගේ කොටස්. මෑත කාලීන කොටස් මිල ගණන් අනුව එය ඩොලර් බිලියන 271 කට අධිකයි. ඉතිරිය මස්ක් සතුව විවිධ වත්කම්වල එකතුවක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ යටතට ඩොලර් බිලියන 5 ක් පමණ බැගින් වන Neuralink සහ The Boring Company යන සමාගම් වල හිමිකාරිත්වයේ වටිනාකම ඇතුළත්. ඉතිරි වත්කම් බිලියන 104 ක් පමණ වන අතර ඒ යටතට ඔහුගේ වෙනත් ආයෝජනයන් වන පෞද්ගලික ජෙට් යානය, අනෙකුත් දේපළ ආදිය අයත් වෙනවා. මේ සියල්ලේම එකතුවයි ඩොලර් ට්‍රිලියනයේ සීමාව පසු කර ගියේ.

පසුගිය වසර තුළ එලොන් මස්ක්ගේ වත්කම් ඉහළ යාම සිදුව තිබෙන්නේ නාට්‍යමය ස්වරූපයකින්. ඔහු පසුගිය ගිම්හානය අග භාගයේදී ඩොලර් බිලියන 400 කට ටිකක් වැඩි වත්කමකට හිමිකම් කීවා. මීට සති කිහිපයකට පෙර ඩොලර් බිලියන 800 සීමාව පසු කළ ඔහු මේ වන විට ඩොලර් ට්‍රිලියනය පසු කර අවසන්. පසුගිය ගිම්හානයේ පටන් මස්ක්ගේ වත්කම් වැඩි වීමෙන් වැඩි කොටසක් පැහැදිලිවම වෙන් වන්නේ SpaceX වෙතයි. ආයෝජකයින් මේ ගැන ඉතා උද්යෝගිමත් අතර එය Tesla හි කොටස් මිලෙහි යම් පහත වැටීම් වලට පවා ප්‍රතිරෝධය දැක්වීමට සමත් වී ඇති බවයි පෙනී යන්නේ.

මස්ක්ගේ ධනය බැංකුවේ තැම්පත් කළ මුදල් නොවේ. එබැවින් ඔහුට තමන්ගේ ධනය පිටතට ගොස් එය වියදම් කිරීමේ හැකියාවක් නැහැ. ඒ සියල්ලම පාහේ බැඳී තිබෙන්නේ ඉහත කී සමාගම් සමඟ. ඔහු හුදෙක් මෙම සමාගම්වල විශාලතම කොටස් හිමියා පමණක් නොව ඒවායේ ප්‍රධානියා ද වෙනවා. යම් හෙයකින් ඔහු තමන්ගේ කොටස් විකිණීමට පටන් ගන්නේ නම්, එය කොටස් මිල පහත වැටීමට පවා හේතු වෙන්න පුළුවන්.

කැපී පෙනෙන කරුණ නම් ඇමරිකානුවන් බොහෝ දෙනෙක් ඉන්ධන, නිවාස සහ අනෙකුත් දෛනික වියදම් සමඟ පොර බදමින් සිටින මොහොතක මස්ක් මේ කඩයිම පසු කිරීමයි. ඩොලර් ට්‍රිලියනයක් යනු සිතන තරම් පහසු වත්කමක් නම් නොවේ. ඩොලර් ට්‍රිලියනයකින් ඔබට ඇමරිකා එක්සත් ජනපදයේ නිවාස මිලියන 2.4 ක් මිලදී ගන්න පුළුවන්. ඔබ සියලුම NFL සහ NBA කණ්ඩායම් මිලදී ගත්තත් ඩොලර් බිලියන 500 ක් ඉතිරි වෙනවා. එය ඇමරිකා එක්සත් ජනපදය වසරක් තුළ නිෂ්පාදනය කරන සියලුම භාණ්ඩ හා සේවා වලින් 3% කට අධිකයි. ඇස්තමේන්තු කර ඇති පරිදි එලොන් මස්ක් සිය වෘත්තීය ජීවිතය තුළ තත්පරයකට සාමාන්‍යයෙන් ගොඩ නඟා ගන්නා ධනය ප්‍රමාණය ඩොලර් 1,000 ක් පමණ වෙනවා.

(The Wall Street Journal ඇසුරෙණි.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *