ශාන්ත නිකලස්තුමා සහ නත්තල් සීයා

නත්තල් සීයා නොහොත් සැන්ටා ක්ලෝස් ප්‍රසිද්ධ වී ඇත්තේ නත්තලට පෙර දින රාත්‍රියේ දරුවන්ට තෑගි රැගෙන එන විනෝදජනක මහළු එල්ෆ් කෙනෙකු ලෙසයි. (පැරණි මිත්‍යා ප්‍රබන්ධවල එන ඉන්ද්‍රජාලික බලයන් සහිත භූතයන් එල්ෆ් ලෙස හඳුන්වයි.) නමුත් නත්තල් සීයාගේ ආරම්භය තුන්වන සියවසේ රෝම අධිරාජ්‍යයේ විසූ ශාන්ත නිකලස් නම් පූජකතුමා කරා දිව යයි. ක්‍රි.ව. 280 දී උපත ලැබූ ශාන්ත නිකලස්තුමා නූතන තුර්කියේ කුඩා නගරයක් වන මයිරාහි බිෂෝප්වරයා ලෙස කටයුතු කළේය.

එලෙස කටයුතු කරන අතරතුර නිකලස්තුමා ප්‍රසිද්ධ වූයේ දුප්පතුන් අතර ධනය බෙදා දුන් අයෙකු ලෙසයි. වරක් දෑවැද්දක් නොමැති වීම නිසා විවාහ වීමට නොහැකිව වහල් සේවයේ යෙදවීමට සිටි දියණියන් තිදෙනෙක්ව ඔවුන්ගේ පියා හට දෑවැද්ද සඳහා රත්‍රන් මලු තුනක් ලබා දී බේරා ගැනීමට නිකලස්තුමා සමත් විය. මෙහිදී නිකලස්තුමා රත්‍රන් මලු ලබා දී තිබුණේ රාත්‍රී කාලයේ කිසිවෙකුටත් නොදැනෙන පරිදි නිවසට රත්‍රන් මලු විසි කිරීමෙන් බව සඳහන් වේ. නත්තල් සීයා රාත්‍රී කාලයේ රහසේ නිවසට පැමිණ තෑගි ලබා දීමේ අදහසට පසුබිම් වී ඇත්තේ මෙම සිදුවීමයි.

දහතුන්වන සියවස පමණ වන විට තෑගි ගෙන එන්නෙකු ලෙස ප්‍රසිද්ධ වූ නිකලස් පිළිබඳ සංකල්පය, වර්තමාන නත්තල් සීයා ලෙස ප්‍රථම වරට කරලියට පැමිණෙන්නේ 1823දී “The Night Before Christmas” නැමැති කාව්‍යය හරහායි. කෙසේවෙතත් කුඩා දරුවන් තවමත් මඟබලා සිටින්නේ පිනිමුවන් විසින් පදවන, ඉන්ද්‍රජාලික හිම කරත්තයක නැගී තෑගි බෙදෙමින් යන, සුදු දිග රැවුලක් ඇති, විනෝදකාමී නත්තල් සීයා තමාටද රහසේ පැමිණ තෑග්ගක් තබා යනතුරුයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *