ගාසා තීරයේ ළමා අධ්‍යාපනය

ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම ළමයි ගැන විශේෂයෙන් කතා කරන්න වෙන් වුණ දවස තමයි ලෝක ළමා දිනය. මේ දවසේදී ලෝකය පුරා දරුවන්ගේ අනාගතයට වැදගත් විවිධ දේ ගැන සාකච්ඡා, සංවාද ඇති වෙනවා. ඒ අතර අධ්‍යාපනය ප්‍රධාන මාතෘකාවක්. එහිදී ලෝක ප්‍රජාවගේ විශේෂ අවධානයකට ලක්විය යුතු දරුවන් පිරිසක් සිටිනවා. ඒ තමන් නොකළ වරදකට වැරැදිකරුවන් බවට පත් වී සිටින ගාසා යුද්ධයට මැදි වුණ දරුවන්.

මෑත පෙරදිග පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන සහ කාර්ය නියෝජිතායතනය (UNRWA), කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨය සහ ලෙබනන් අධ්‍යයන මධ්‍යස්ථානය ඒකාබද්ධව මෑතකදී සිදුකළ අධ්‍යයනයක් හෙළිකරන්නේ කොවිඩ්-19 වසංගතය, පෙර ඊශ්‍රායල හමුදා මෙහෙයුම් සහ වර්තමාන යුද්ධය නිසා 2019 සිට ගාසා හි දරුවන්ගේ අධ්‍යාපනයට බාධා වී ඇති බවයි. එම දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රතිෂ්ඨාපනයට සැලකිය යුතු තරම් විශාල කාලයක් ගතවෙන බව එහි වැඩිදුරටත් සඳහන්. දරුවන් කම්පනයට ලක්වීම, කුසගින්න සහ අවතැන් වීම ඒ සඳහා තිබෙන අමතර අභියෝග. කෙසේ වෙතත් පර්යේෂකයන්ගේ අදහස වෙලා තියෙන්නේ දරුවන්ගේ අධ්‍යාපනය නොවෙයි මානව හිමිකම් පවා තර්ජනයකට ලක්වෙලා තියෙන මොහොතක, ජ්‍යාත්‍යන්තර ආධාර ලබා දීමේ දී ප්‍රමුඛත්වය ලැබෙන්නේ වෙනත් කරුණු කෙරෙහි බවටයි.

එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලයට (OCHA) අනුව 2024 අගෝස්තු වන විට ඊශ්‍රායල හමුදා මෙහෙයුම් නිසා ජීවිත අහිමි වූ දරුවන් සංඛ්‍යාව 10,600ත් තුවාල ලැබූ දරුවන් සංඛ්‍යාව 15,300ත් ඉක්මවනවා. Save the Children ආයතනය ඇස්තමේන්තුගත කරන අන්දමට යුද්ධය ආරම්භයේ සිට සෑම දිනකම අතපය අහිමි වුණ දරුවන් ගණන 10කට වැඩියි.

චන්ද්‍රිකා ඡායාරූප අනුව ගාසා තීරයේ පාසල් වලින් 90%කට වඩා හානි වී තිබෙනවා. ඉන් බොහොමයක් ප්‍රතිසංස්කරණය කළ නොහැකි මට්ටමේ තිබෙන්නේ. විශේෂ අවශ්‍යතා තිබෙන, ආබාධිත දරුවන්ට උපකාර කිරීම මෙවන් දුර්වල අධ්‍යාපන පද්ධතියකට විශාල අභියෝගයක්.

පසුගිය අගෝස්තු සිට UNRWA ආයතනය මගින් අවතැන් කඳවුරුවල රැදී සිටින දරුවන් 8,000 කට පමණ අධ්‍යාපනය ලබා දී තිබෙනවා. නමුත් එය කිසිසේත් ප්‍රමාණවත් නැහැ. ඒ බව තහවුරු වෙන්නේ මෙහි සාක්ෂරතා දරිද්‍රතාවය (Learning Poverty) නොඑසේ නම් වයස අවුරුදු 10 වන විට භාෂාවක් ලිවීමේ සහ කියවීමේ හැකියාවක් නොමැති පිරිස 20% කින් වත් වැඩි වී තිබීම මගින්.

නිරීක්ෂණ සංවිධාන පවසන්නේ ඇතැම් දරුවන් අධ්‍යාපනය ලබන අතරතුර සමානාත්මතාව, මානව අයිතිවාසිකම් වැනි වටිනාකම් ප්‍රශ්න කරන බව. ඉන් පැහැදිලි වන්නේ මේ යුද්ධය ගාසා හි දරුවන්ට කෙතරම් විශාල වශයෙන් බලපෑම් කර තිබේද යන්න. එම නිසා මෙම ඛේදවාචකය අවසන් කළ හැකි එකම ක්‍රමය වන්නේ සාමයයි.

අද වන විට ගාසා තීරයේ සුන්බුන් අතරේ ජීවත් වන පාසල් වියේ දරුවන් ගණන 625,000 කට අධිකයි. ඔවුන් නැවතත් ඉගෙනීමට ගෙන ඒම ලොව සාමූහික ප්‍රමුඛතාවයක් විය යුතුය. මන්ද යත් එසේ කිරීමට අපොහොසත් වූවොත් එම පරම්පරාවම අන්තවාදය, වෛරය සහ ප්‍රචණ්ඩත්වය කෙරෙහි යොමු වීමට තිබෙන්නේ පැහැදිලි හැකියාවක්.

-මෑත පෙරදිග පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන සහ කාර්ය නියෝජිතායතනය (UNRWA) පළ කළ ලිපියක් ඇසුරෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *