වසරෙහි අවසානයත් සමඟම මුළු ලොවම උත්සව සිරියෙන් නහවාලන, සැණකෙලි අසිරිය ලොව පුරා පතුරුවාලන උත්සවයක් ලෙස අපට නත්තල හඳුන්වා දෙන්න පුළුවන්. දෙසැම්බර් 25 වන දින ලොව පුරා ජනතාව ජේසුස් වහන්සේගේ ජන්ම දිනය සැමරීම උදෙසා ආදරය, සාමය සහ සතුට දසත පතුරුවමින් සමරන මෙම උත්සවය වසරෙහි පැවැත්වෙන දැවැන්තම සැණකෙලියක් බව කිව්වාට නම් වරදක් නැහැ.
නත්තලෙහි වැදගත්කම නම් මිනිසුන් හා පවතින සබඳතා අලුත් කරමින් , ගෙවී ගිය වසරක මතක පිටු පෙරලමින් උදාවන නව වසරට පිය මනින්නට සැරසෙමින්, අනෙකා කෙරෙහි උපකාර කරමින් ප්‍රීතිමත්ව ගෙවන අති උත්කර්ශවත් සැණකෙලියක් වීමයි. ශ්‍රී ලාංකේය ජනතාව වශයෙන් අපත් රට පුරා නෙකවිධ සැණකෙලි පවත්වමින් සමරනු ලබන මේ උත්සවය නොයෙක් සැරසිලි වලින් අලංකෘත වූවක් බවට නම් සැකයක් නැහැ. නත්තල් ගස අලංකාරව සැරසීමේ සිට තෑගි බෝග බෙදා හදාගැනීම දක්වා සියලු කටයුතු වලදී අප පරිසර හිතකාමීව මෙවර නත්තල් අසිරිය විඳින්නට උත්සහ ගත්තාට නම් වරදක් නැහැ.
මොකද කිව්වොත් ඇතැම් පුද්ගල ක්‍රියාකාරකම් නිසා ටොන් මිලියන ගනන් පරිසරයට අහිතකර ද්‍රව්‍යය කඳු පිටින් ගොඩ ගැසී පැවතීම 21 වන සියවසේ සැණකෙලි අවසන ඇති සුලබ දසුනක් වීම නිසායි. ගෙවුණ වසරක අවසානයත් – උදා වන නව වසරක ආරම්භයත් අතර සැමරෙන අති උත්කර්ශවත් සැණකෙලියට නවමු අරුතක් එක් කරමින් නත්තල් අසිරිය විඳින්නට අපිටත් හැකියාව තිබෙනවා.
- පරිසර හිතකාමී නත්තල් සැරසිලි භාවිතා කිරීම සහ භාවිතා කරන ලද සැරසිලි ක්‍රමවත්ව බැහැර කිරීමට පියවර ගැනීම.
- LED විදුලි පහන් භාවිතා කරමින් අවම විදුලි බල ශක්තියක් වැයකොට , ගිනි අවදානම අඩුකරගෙන අසිරිය විඳින්නට වග බලා ගැනීම.
- තෑගි බෝග බෙදා හදා ගැනීමේදී ඒවා ප්‍රතිචක්‍රිකරණය කල හැකි ඇසුරුම් භාවිතා කොට අලංකාර කිරීම.
- ආහාර නාස්තිය අවම කර ආදරණීයයන් හා ප්‍රීතිමත්ව නත්තල් සමය ගතකිරීමට වගබලා ගැනීම.
- පරිසර හිතකාමී නිෂ්පාදන භාවිතා කරමින් නිවෙස් , වාහන ආදිය පිරිසිඳු කිරීම.
- නොදිරන කසල පරිසරයට මුදාහැරීම හැකිතාක් අවම කිරීම.
- ගිනිකෙලි භාවිතයේදී සැලකිලිමත් වීම.
මෙවැනි සරල පියවර මඟින් අපිට අසිරිමත් නත්තලෙහි සිරිය විඳගන්නා අතරතුරම , පරිසරයත් රැකගනිමින් සතුට බෙදා හදාගන්නට හැකියාව පවතිනවා.
අවසාන වශයෙන් පරිසර හිතකාමී නත්තලක් සැමරීම පරිසරයට මෙන්ම අපටත් , ස්මාජයටත් යහපතක් වන බව කියන්නටත් අවශයයි. ඉතින් මෙවර ඔබත් සැමරුම් වල කුඩා වෙනසක් කිරීමෙන් , සැරසිලි වලට අරුතක් එකතු කරමින් සහ නාස්තිය අවම කර ගනිමින් උත්සව අසිරියට නවමු අරුතක් එකතු කරන්නට වගබලා ගනීවි යැයි අපි බලාපොරොත්තු වනවා.
ඉතින් උදාවන නත්තල ඔබට සාමයේ කුමරුන් දොරට වඩින අසිරිමත් නත්තලක් වේවා!