දින දර්ශනයේ ඉතිහාසය

2026 නව වසර උදා වුණා. සුපුරුදු විදිහට මේ වර්ෂය ආරම්භයේදීත් අපේ කාමර බිත්ති හැඩ වන්නේ අලුත් දින දර්ශන වලින්. අපට වසර පුරාම ප්‍රයෝජනවත් වන දින දර්ශනයේ ඉතිහාසය පිළිබඳ කෙටි සොයා බැලීමක් මේ.

මානව ඉතිහාසය පුරා මිනිසා සිය දෛනික ජීවිතය පහසු කර ගැනීමට දින දර්ශන භාවිත කළ ආකාරය දැක ගන්න පුළුවන්. ඊජිප්‍තු, ග්‍රීක, චීන, බැබිලෝනියානු වැනි ශිෂ්ටාචාරවලදී භාවිත වුණ දින දර්ශන ඊට නිදසුන් කිහිපයක් පමණයි. වර්තමානයේ අපි භාවිත කරන දින දර්ශනයට පදනම් වෙලා තියෙන්නේ රෝම දින දර්ශනය‍. මූලික වශයෙන් චන්ද්‍ර මාස 12කින් සහ දින 355කින් සමන්විත වුණ මෙම දින දර්ශනයට අනුව නව වසර ආරම්භ වූයේ මාර්තු මාසයෙන්.

කෙසේ නමුත් ජුලියස් සීසර් අධිරාජ්‍යයා දින දර්ශනය නැවත සකස් කිරීමට කටයුතු කළා. චන්ද්‍ර මාස ක්‍රමය සම්පූර්ණයෙන්ම ඉවත් කළ ඔහු සූර්ය වර්ෂ ක්‍රමය භාවිතයට ගෙන ආවා. ඔහුගේ මේ නව දින දර්ශනය භාවිතයට ගැනීම ක්‍රි.පූ. 45 ජනවාරි පළමුවැනිදා ආරම්භ කළ නිසා එතැන් පටන් නව වසර ආරම්භ වීම මාර්තු පළමුවැනිදා සිට ජනවාරි පළමුවැනිදාට මාරු වුණා. ජුලියන් දින දර්ශනය ලෙස හැදින්වූයේ මෙම දින දර්ශනය.

සූර්ය වර්ෂය සහ දින දර්ශනයේ වර්ෂය සමපාත නොවීම මගහරවා ගැනීමත්, කතෝලික ආගමේ ශුද්ධ වූ දින නියමිත ස්ථානවල තබා ගැනීමත් අරමුණු කරගනිමින් ජුලියන් දින දර්ශනය වෙනුවට වර්තමානයේ අප භාවිත කරන ග්‍රෙගරියානු දින දර්ශනය හඳුන්වා දීමට කටයුතු කළේ 13 වන ග්‍රෙගරි පාප් වහන්සේ. කතෝලික රාජ්‍යයන් මෙම නව දින දර්ශනය භාවිත කිරීම 1582 දී ආරම්භ කළත් රෙපරමාදු භක්තික රාජ්‍යයන් ඊට ඉක්මන් වුණේ නැහැ. එංගලන්තය 1752 දක්වාත්, රුසියාව 1918 දක්වාත් මේ නව ග්‍රෙගරියානු දින දර්ශනය පිළි නොගැනීම ඊට නිදසුන් සපයනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *