පේරාදෙණිය විශ්වවිද්‍යාලය

පේරාදෙණිය විශ්වවිද්‍යාලය යනු අධ්‍යයන විශිෂ්ටත්වය සහ පර්යේෂණ නවෝත්පාදන පෝෂණය කිරීම සඳහා වන ශ්‍රී ලංකාවේ කැපවීම පිළිබඳ අගනා සාක්ෂියකි. ශ්‍රී ලංකාවේ පැරණිතම විශ්වවිද්‍යාලය ද වන පේරාදෙණිය විශ්වවිද්‍යාලය, වර්ෂ 1942 දී මෙරට ප්‍රථම විශ්වවිද්‍යාලය ලෙස කොළඹ දී ලංකා විශ්වවිද්‍යාලය ස්ථාපනය කිරීමත් සමඟ ඇරඹි කීර්තිමත් සහ සාඩම්බර ඉතිහාසයකට උරුමකම් කියයි.

1921 වසරේදී ලන්ඩන් විශ්වවිද්‍යාලය යටතේ අනුබද්ධිත ආයතනයක් ලෙස ආරම්භ කළ ලංකා විශ්වවිද්‍යාල කොලීජිය (Ceylon University College) වෙනුවට ස්වාධීන ලංකා විශ්වවිද්‍යාලයක් පිහිටුවිය යුතු බවට එකඟතාවක් යටත් විජිත පාලනයත් ලංකා විශ්වවිද්‍යාල සංගමයත් අතර ඇති වී තිබුණි. නමුත් මීළඟට පැන නැගුණු ප්‍රශ්නය වූයේ එම ආයතනය කොතැන පිහිටුවිය යුතු ද යන්න ය. මේ ගැන දීර්ඝ විවාදයක් සිදු විය. ඇතැමුන් එය පරිපාලන කේන්ද්‍රය වූ කොළඹ පිහිටුවිය යුතු යැයි කියා සිටි අතර අන්‍යයන් කියා සිටියේ අග නගරයේ කාර්ය බහුල පරිසරයෙන් මිදුණු ශාස්ත්‍ර ගවේෂණය සඳහා සුවදායක පරිසරයක් ඇති මහනුවර ප්‍රදේශයේ එය පිහිටුවිය යුතු බව ය. වසර ගණනාවක් තිස්සේ දිගින් දිගට සිදු වූ මේ විවාදය අවසන් වූයේ එය මහනුවර ප්‍රදේශයේ පිහිටුවීමට ගත් තීරණයත් සමඟයි.

යෝජිත ලංකා විශ්වවිද්‍යාලය මහනුවර ප්‍රදේශයේ කුමන ස්ථානයක එය පිහිටුවිය යුතු ද යන්න ගැන නිශ්චිත තීරණයක් රාජ්‍ය මන්ත්‍රණ සභාව විසින් ගනු ලැබුවේ 1938 වර්ෂයේ දී ය. පළමුව එය දුම්බර මිටියාවතේ පිහිටුවීමට අදහස් කළ අතර අරුප්පල භූමි ප්‍රදේශයක් ද ඒ සඳහා හඳුනා ගෙන තිබිණි. නමුත් එම ප්‍රදේශය මැලේරියා වසංගතය පැවති ප්‍රදේශයක් වීමත්, එහි තවදුරටත් ප්‍රසාරණය සඳහා ඉඩ කඩ මඳ බවත් යන හේතු නිසා ඒ වෙනුවට පේරාදෙණියේ තේ හා රබර් වතු භූමියක් හඳුනා ගන්නා ලදී. හන්තාන කඳු වැටියෙන් ඇරඹී මහවැලි ගඟ වෙත දිවෙන බෑවුමකින් යුත් මෙම යෝජිත භූමිය ප්‍රමාණයෙන් විශාල හා වඩාත් සෞඛ්‍ය සම්පන්න ස්ථානයක් මෙන්ම කොළඹ අගනගරයට සහ අසල පිහිටි මහනුවර නගරයට පහසු මාර්ග සහ දුම්රිය ප්‍රවේශයක් ලබා දෙන දර්ශනීය ස්ථානයක් විය.

ඒ අනුව රජය විසින් මෙම භූමිය අත්පත් කර ගන්නා ලදී. වර්තමානයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය පවතින මෙම භූමිය හෙක්ටයාර 700 ක් පමණ වූ අතර පසුව තවත් හෙක්ටයාර 120 ක් එකතු කරන ලදී. එයින් හෙක්ටයාර 150 ක් පමණ සංවර්ධනය කර භූමි අලංකරණය කරන ලද අතර දැන් එහි විශ්වවිද්‍යාල සංකීර්ණය පිහිටා තිබේ. ඉතිරි භූමිය වනාන්තර ලෙස පවතී.

යෝජිත ලංකා විශ්ව විද්‍යාලය පිහිටුවාලීමේ භාරධුර කර්තව්‍යයෙහි වගකීම එවකට ලන්ඩන්හි කීර්තිමත් විශ්ව විද්‍යාල ආයතනයක් ලෙස පැවති ලන්ඩන් ආර්ථික විද්‍යා ශාස්ත්‍රාලයෙහි (London School of Economics- LSE) ප්‍රාචාර්ය පදවියක් හොබවමින් සිටි විලියම් අයිවර් ජෙනිංග්ස් මහතා හට පැවරුණි. දෙවන ලෝක යුද්ධයෙන් ගමනාගමනයට බාධා පැමිණීම නිසා ජෙනිංග්ස් මහතාට ලංකාවට පැමිණීමට වසරක් පමණ කල් බලා සිටීමට සිදු වූ අතර පසුව 1941 මාර්තු මාසයේදී මෙරටට පැමිණි ඒ මහතා ලංකා විශ්වවිද්‍යාල කොලීජියේ ප්‍රධානාචාර්යවරයා ලෙස රාජකාරි භාර ගත්තේය.

ඒ අතරතුර රජය විසින් යෝජිත විශ්ව විද්‍යාල භුමිය වූ පේරාදෙණිය වතුයායේ භූමිය තුළ විශ්වවිද්‍යාල ගොඩනැගිලි ස්ථාපනය කළ යුතු ආකාරය සඳහා භූමි සැලැස්මක් සම්පාදනය කිරීමේ කාර්යය එංගලන්තයේ සිටි විශිෂ්ට වාස්තු විද්‍යාඥයකු වූ පැට්රික් ඇබර් ක්‍රොම්බි මහතා වෙත පවරා තිබිණි. අයිවර් ජෙනිංග්ස් මහතා ලංකාවට පැමිණෙන විට එම බිම් සැලැස්ම සම්පාදනය වී තිබුණේය.

පිහිටුවන නව විශ්වවිද්‍යාලය කොතැන විය යුතු ද යන්න ගැන අදහසක් ලබා ගැනීම පිණිස ජෙනිංග්ස් මහතා අප්‍රේල් මස මුල් සතියේ ලැබුණු මහ සිකුරාදා නිවාඩු දිනයේ පේරාදෙණියට ගියේය. ඒ පිළිබඳව ඔහු තම චරිතාපදානයේ මෙසේ ලියා ඇත. ” පරණ ගලහ පාර දිගේ රිය පදවා ගෙන ගිය මම (වත්මන් සනාතන මන්දිර ගොඩනැගිල්ල පිහිටා ඇති) උස් තැනිතලාව වෙත පැමිණියෙමි. රියෙන් බැස වැඩෙමින් තිබූ කැළෑව මැදින් ඉහළට නැගුණු මම එහි වූ ගස් කොටයක හිඳගෙන ශ්‍රීමත් පැට්රික් ඇබරොම්බි මහතා විසින් සැලසුම් කළ භූමි සිතියම දිගහැර ගත්තෙමි. යෝජනා ක්‍රමයේ උත්කෘෂ්ටාලංකාරය මා ඉදිරියේ මැවී පෙනෙන්නට වූයේ එවිට ය. ඒ ගැන කිසිදු සැකයක් නැත. මෙය ශ්‍රේෂ්ඨ විශ්වවිද්‍යාලයක් වනවා ඇත.” (Road to Peradeniya, p.178)

රාජ්‍ය මන්ත්‍රණ සභාව විසින් පනවන ලද 1942 අංක 20 දරන ලංකා විශ්වවිද්‍යාල ආඥා පනත මගින්, සෙනෙට් සභාව සහ පාලක සභාව අතර බලතල බෙදීමක් සහිත ද්වි-ස්ථර අධ්‍යයන ස්වයං පාලනයක් නව විශ්වවිද්‍යාලයට ප්‍රදානය කරන ලදී. ඒකීය, නේවාසික සහ ස්වාධීන වූ මෙම විශ්වවිද්‍යාලය කොළඹ දී නිර්මාණය කර පසුව එය පේරාදෙණියට ගෙන යාමට අපේක්ෂා කෙරුණි. විශ්වවිද්‍යාලය පිහිටුවීමේ ප්‍රකාශය 1942 ජුනි 9 වන දින නිකුත් කරන ලද අතර, ලංකා විශ්වවිද්‍යාල කොලීජිය සහ කොළඹ වෛද්‍ය විද්‍යාලය තනි ඒකකයක් බවට ඒකාබද්ධ කරමින් ලංකා විශ්වවිද්‍යාලය නිර්මාණය කරන ලදී.

1942 ජූලි 1 දින එතෙක් ලංකා විශ්වවිද්‍යාල කොලීජිය ආයතනයේ කාර්යාලය පිහිටුවා තිබූ තර්ස්ටන් පාරේ (වර්තමාන කුමාරතුංග මුනිදාස මාවතේ) කොලේජ් හවුස් නම් ගොඩනැගිල්ලේ ඉහළ මාලයෙහි කොඩි ගසක ස්වාධීන ලංකා විශ්වවිද්‍යාල ධජය ජෙනිංග්ස් මහතා විසින් නැංවීමෙන් ලංකා විශ්වවිද්‍යාලය පිහිටුවීම සංකේතාත්මකව සිදු විය. ඉන් පසු විශ්වවිද්‍යාලයේ කටයුතු මනාව පවත්වා ගෙන යන අතරතුර යෝජිත පරිදි එය පේරාදෙණියේ ඉදි වෙමින් පැවති නව ගොඩනැගිලි වෙත ගෙන යෑමට ජෙනිංග්ස් මහතා සැලසුම් කළේය.

විශ්වවිද්‍යාල සංකීර්ණය ඉදි කිරීමේ ව්‍යාපෘතියේ දී පළමු අදියර සම්පූර්ණයෙන්ම මහවැලි ගඟේ දකුණු ඉවුරේ සිදු කිරීමට නියමිතව තිබූ අතර ඉදිකිරීම් කටයුතු පොදු වැඩ දෙපාර්තමේන්තුවට පැවරිණි. දෙවන අදියර වූයේ මහවැලි ගඟ හරහා පාලමක් ඉදිකිරීම සහ එහි වම් ඉවුර සංවර්ධනය කිරීමයි. කෙසේ වෙතත්, 1947 දී ඇති වූ පෙර නොවූ විරූ ගංවතුර හේතුවෙන් යෝජනා ක්‍රමය අවුල් සහගත වූ අතර, සැලසුම්වලට ප්‍රධාන වෙනස්කම් අවශ්‍ය විය. තවද මිනිස් ශ්‍රමය පුළුල් ලෙස යොදා ගැනීම ඉදිකිරීම් මන්දගාමී වීමට හේතු විය.

දෙවන ලෝක යුද්ධය, 1947 ගංවතුර, කලකිරීමට පත් කරන ප්‍රමාදයන්, නිලධාරිවාදය, ඉදිකිරීම් ගැටළු වැනි අභියෝග රාශියකට මුහුණ දීමට සිදු වුවද, ආචාර්ය ජෙනිංග්ස් සිය සම්පූර්ණ ශක්තිය යොදා පේරාදෙණියේ විශ්ව විද්‍යාලය පිහිටුවමින් සිය වගකීම ඉටු කළේය. ඒ අනුව කොළඹ සිට පේරාදෙණියට පළමු සිසුන් කණ්ඩායම මාරු කිරීම 1952 දී සිදු කෙරුණි. මොවුන් නීති හා කෘෂිකර්ම අධ්‍යයනාංශවල සිසුන් සහ එවකට කොළඹ වෛද්‍ය පීඨයට අනුයුක්තව තිබූ පශු වෛද්‍ය අධ්‍යයනාංශයේ තුන්වන සහ සිව්වන වසරේ සිසුන් විය. අනතුරුව මෙහි ප්‍රධාන පියවර ලෙස කලා හා පෙරදිග අධ්‍යයන පීඨවල කාර්ය මණ්ඩලය සහ සිසුන්, ප්‍රධාන පුස්තකාලය සහ විශ්වවිද්‍යාල පරිපාලනය සමඟ පේරාදෙණියට මාරු කරන ලදී. 1952 ඔක්තෝබර් 6 වන දින මෙම පියවර සම්පූර්ණ කරමින් පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයේ විධිමත් ස්ථාපිත කිරීම සනිටුහන් කළේය.

හයවන ජෝර්ජ් රජුගේ අභාවය හේතුවෙන් සහ දෙවන එලිසබෙත් රැජිනට විවෘත කිරීමේ උත්සවයට සහභාගී විය හැකි වන තෙක්, පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වීම උත්සවාකාර විවෘත කිරීම කල් දැමීමට රජය කටයුතු කළ බැවින්, උපකුලපතිවරයා විසින් ගසක් සිටුවීමෙන් එය සමරනු ලැබීය. පසුව කල් දැමූ විශ්වවිද්‍යාලය විවෘත කිරීමේ උත්සවය 1954 අප්‍රේල් 20 වන දින දෙවන එලිසබෙත් රැජින සහ එඩින්බරෝ ආදිපාදවරයාගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

එතැන් පටන් 1967 වන තෙක් මෙම විශ්වවිද්‍යාලය, ලංකා විශ්වවිද්‍යාලය ලෙස පේරාදෙණියේ ක්‍රියාත්මක වූ අතර කොළඹ ක්‍රියාත්මක වූ අංශ ලංකා විශ්වවිද්‍යාලයේ කොළඹ මණ්ඩපය ලෙස පැවතුණි. 1967 දී පේරාදෙණියේ පිහිටි ලංකා විශ්වවිද්‍යාලය, පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලය ලෙසත්, කොළඹ මණ්ඩපය, කොළඹ ලංකා විශ්වවිද්‍යාලය ලෙසත් වෙන වෙනම ස්වාධීන විශ්වවිද්‍යාල දෙකකට වෙන් කිරීම සිදු විය.

1972 අංක 1 දරන ලංකා විශ්වවිද්‍යාල පනත මඟින් ශ්‍රී ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල තනි විශ්වවිද්‍යාලයක මණ්ඩප බවට පත් වීමත් සමඟ පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලය පේරාදෙණිය මණ්ඩපය බවට පත් වූ නමුත් පසුව හදුන්වා දුන් 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත අනුව පේරාදෙණිය මණ්ඩපයට නැවතත් ස්වාධීන විශ්වවිද්‍යාලයක තත්ත්වය ලැබුණි.

වර්තමානයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය කෘෂි විද්‍යා, සම සෞඛ්‍ය විද්‍යා, ශාස්ත්‍ර, දන්ත වෛද්‍ය විද්‍යා, ඉංජිනේරු, වෛද්‍ය, කළමනාකරණ, විද්‍යා සහ පශු වෛද්‍ය සහ සත්ත්ව විද්‍යා ලෙස පීඨ නවයකින්, අනුබද්ධ පශ්චාත් උපාධි ආයතන හතරකින් සහ දුරස්ථ සහ අඛණ්ඩ අධ්‍යාපන මධ්‍යස්ථානයකින් සමන්විත වේ. පශ්චාත් උපාධි ආයතන, පීඨ, සහ උසස් උපාධි කමිටු හෝ පශ්චාත් උපාධි ඒකක මඟින් පිරිනමනු ලබන SLQF මට්ටම් 7 සිට 12 දක්වා වූ පුළුල් පශ්චාත් උපාධි වැඩසටහන් මාලාවකට අමතරව විශ්වවිද්‍යාලය විසින් SLQF මට්ටම් 5 සහ 6 දක්වා පරාසයක විහිදෙන පළමු උපාධි පාඨමාලා 62 ක් පිරිනමනු ලබයි.

තත්ත්ව සහතිකකරණය, ජාත්‍යන්තර පිළිගැනීම සහ නවෝත්පාදන සංස්කෘතිය සඳහා කැපවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඉහළම පෙළේ උපාධිධාරීන් බිහි කිරීම සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය කීර්තියක් අත්කර ගෙන ඇත. තවද, මෙරට උසස් අධ්‍යාපන ක්‍රියාවලියේ ඉදිරියෙන්ම සිටින ආයතනයක් ලෙස අධ්‍යයන හා පර්යේෂණ වැඩසටහන් මෙන්ම සිසුන්ගේ සහ කාර්ය මණ්ඩලයේ සුබ සාධනය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කිරීම හේතුවෙන් මෙම විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ ගමන් මග අඛණ්ඩ ව හැඩ ගස්වමින් කටයුතු කරන ප්‍රමුඛ ජාතික හා ජාත්‍යන්තර ආයතනයක් ලෙස පිළිගැනීමට ලක් වේ.

(පේරාදෙණිය විශ්වවිද්‍යාලීය වෙබ් අඩවිය, වාර්ෂික වාර්තාව 2023 සහ සම්මානිත මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාසගේ ලිපියක් ඇසුරෙණි.)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *