ඉස්ලාමීය විශ්වාසවලට අනුව ඉස්ලාම් ධර්මය ලොව බිහි වූයේ අල්ලාහ් දෙවියන් වහන්සේ ලොව මුල්ම මිනිසා ලෙස මෙලොවට බිහි කළ ආදම් නබිතුමාගෙනි. නබි ආදම් තුමාගේ සිට ඒ ඒ කාලවල පැවැති සමාජය යහමඟට ගැනීම සඳහා වක්තෘවරුන් (Prophets) එක් ලක්ෂ විසි හතර දහසක් පැමිණි බව ශුද්ධ වූ කුරානයේ සඳහන් වේ. ඒ අතර අවසන් වක්තෘවරයාණන් වන්නේ මුහම්මද් නබිතුමාණන්ය.
අවසන් නබිවරයාණන් ලෙස මුහම්මද් තුමාණන් මෙලොවට බිහි වන විට අරාබිකරයේ මිනිස්සු ජීවත් වුණේ ම්ලෙච්ඡත්වය කරපින්නාගත් සමාජයකයි. කලින් කල නබිවරුන් පැමිණ තිබුණත් ඔවුන්ගෙන් වැඩි දෙනකු රටකට, සමාජයකට හෝ පළාතකට පමණක් සීමා වීම නිසා ඔවුන්ට එම කාර්යය නිසි ලෙස ඉටු කරන්නට නොහැකි වීම ඊට හේතුවයි.
මුහම්මද් නබි තුමාණන් ක්‍රිස්තු වර්ෂ 570 වසරේදී වත්මන් සෞදි අරාබියේ මක්කා නගරයේදී මෙලොව එළිය දකින්නේ එකල එහි වංශවත් ගෝත්‍රයක් වූ කුරෛෂි ගෝත්‍රයේ යි. වෙළඳ කටයුතු වලදී ශූරයෙක් වුණ තරුණ මුහම්මද් සිය 25 වැනි වියේදී තමන්ට වඩා වයසින් අවුරුදු 15 ක් වැඩිමහල් වූ කදීජා තුමිය සමඟ විවාහ විය. වෙළඳාමේදී එතුමා තුළ තිබූ අවංකභාවය සහ විශ්වාසවන්තකම නිසාවෙන් එතුමන් හට අල් අමීන් (විශ්වාසවන්තයා) යන නමද එකල පට බැඳ තිබේ.
සිය තරුණ කාලයේදීම මක්කා නගරයට තරමක දුරින් කඳු වළල්ලෙන් වටව පිහිටා ඇති හිරා නම් ගුහාවකට ගොස් තනිවම යාච්ඤා කිරීමට නබි තුමන් පුරුද්ද වී සිටි අතර මෙලෙස යාච්ඤාවේ නියැළී සිටියදී එක් දිනක් ජිබ්රීල් නම් වන දේව දූතයාණන් එම ස්ථානයට පැමිණ මුහම්මද් තුමා ඉදිරියේ පෙනී සිට ‘ මුහම්මද් කියවන්න’ යැයි කීය. කිසිදු අධ්‍යාපනයක් ලබා නොසිටි මුහම්මද්තුමාණෝ මා කෙසේ කියවන්නද මම කිසිවක් ඉගෙන ගෙන නෑනේ’ යැයි කීහ. එවිට දේව දූතයා දෙවියන්ගේ නාමයෙන් කියවන්න යැයි නැවතත් කීය. එවිට මුහම්මද් තුමාණෝ දේව දූතයාණන් කී පරිදි කීහ. ශුද්ධ වූ අල් කුරාණය බිහි වීම එලෙස ආරම්භ වූ අතර එය මෙලොවට පහළ වූ ශුද්ධ වූ කුරානයේ මුල්ම වැකියයි.
මුහම්මද් තුමාණන්ගේ ජීවිතයේ 40 වැනි වියේදී සිදු වූ මෙම සිදුවීමෙන් පටන් එතුමන් මෙලොව හැර ගිය එතුමන්ගේ 63 වන විය දක්වා වසර 23 ක කාලයක් සිය ආගමික මෙහෙය ඉටු කළේය. අනේකවිධ දුක්ඛ දෝමනස්සවලට මුහුණ දුන් එම කාලය තුළ ම්ලේච්ඡත්වයෙන් පිරී තිබූ අරාබිකරයේ සමාජ ක්‍රමය යහපත් ලෙස නිර්මාණය කිරීමට එතුමා සමත් විය. වසර 23 ක් පුරා වරින් වර ශුද්ධ වූ කුරාණය දෙවියන් වහන්සේ විසින් වහී මගින් නබි ජිබ්රීල් නම් වන දේව දූතයන් හරහා නබි තුමා වෙත ලබා දුන් අතර එතුමන්ගේ කාලයේදී ඉස්ලාමය පරිපූර්ණ විය. මුහම්මද් නබි තුමාණන්ගෙන් පසුව කිසිදු වක්තෘවරයකු නොපැමිණෙන බවත් ඉන් පසුව එන සමාජය සඳහා මඟපෙන්වීමට ශුද්ධ වූ කුරානය පවතින බවත් නබි තුමාණෝ සඳහන් කළහ. අල්ලාහ් දෙවියන් වහන්සේ මුහම්මද් නබි තුමාණන් මගින් මෙලොව පරිපූර්ණත්වයට පත් කළ මෙම ධර්මය, ඉස්ලාම් ධර්මයයි.
ලොව පුරා ජීවත් වන මුස්ලිම් බැතිමතුන්ගේ ජීවිතය හැඩගැසී ඇත්තේ ශුද්ධ වූ කුරානය මගින් දෙවියන් වහන්සේ විසින් ලබා දුන් මාර්ගෝපදේශ සහ නබි මුහම්මද් තුමාණන්ගේ ජීවතය අනුවයි. මෙලොව මිනිසකු උපන් දා සිට මිය යන තුරුම ජීවත් විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව නබි තුමාණෝ සිය ජීවිතය තුළින් ජීවත් වී පෙන්වා දුන්හ. ඉතා කුඩා දිළිඳු නිවසක ජීවත් වූ එතුමාණෝ දුගී ජනතාවට දන් දීමේදී තමන්ගේ ආහාරයට තිබූ රොටී කැබැල්ල බඩගිනියි කියා පැමිණෙන වෙනත් පුද්ගලයකුට ලබා දී නිරාහාරව සිටියහ.
ඉතාමත්ම දුෂ්කර ජීවිතයක් ගත කළ නබිතුමන් පරිපූර්ණ කර ලොවට දායාද කළේ අද ලොව දෙවන විශාලම ධර්මය බවට පත්ව ඇති ඉස්ලාම් ධර්මයයි.