අටපට්ටමේ කතාව

වෙසක් කූඩු කියන්නේ වෙසක් උත්සවයක් එක්ක ඉතාමත් තදින් බද්ධ වෙලා තියෙන දෙයක්. බාල මහලු කවුරුත් වෙසක් කූඩු හදන්න එකතු වෙන්නේ වයස් භේදයකින් තොරව. අද වෙනකොට තරු, නෙළුම් මල් විතරක් නෙමෙයි, ගුවන්යානා, නැව් වගේ හැඩයන් ගන්න වෙසක් කූඩුත් නිර්මාණය කරනවා දැකගන්න පුළුවන්. නමුත් නියම වෙසක් කූඩුව විදිහට සැලකෙන්නේ “අටපට්ටම”. ඉතින් මේ උතුම් වෙසක් පොහෝ දිනය දවසේ අපේ මේ සූදානම අටපට්ටම් කූඩුව ගැන සොයා බලන්නයි.

දිගින් සමාන බට පතුරු හතර බැගින් යොදාගෙන සකස් කරගන්නා සමචතුරස්‍රාකාර කොටස් (පට්ටම්) හයක් යොදාගෙනයි අටපට්ටම් කූඩුව නිර්මාණය කරන්නේ. මේ හා සමානවම අපේ ශරීර කූඩුව නිර්මාණය වෙලා තියෙන්නේත් ඇස් පට්ටම (ඇස), කන් පට්ටම (කන), නාස් පට්ටම (නාසය), දිව් පට්ටම (දිව), කය පට්ටම (ශරීරය) සහ මන පට්ටම (මනස) කියන පට්ටම් හයේ එකතු වීමෙන්. මේ පට්ටම් හය තාවකාලිකව එකට බැඳලා තබාගන්නවා, අටවලා තබා ගන්නවා කියන අදහසින් තමයි අටපට්ටම කියන වචනය යෙදිලා තියෙන්නේ.

සම්පූර්ණයෙන් හදලා නිම කරපු අටපට්ටම් කූඩුවක ත්‍රිකෝණාකාර කොටස් අටක් සහ සමචතුරස්‍රාකාර කොටස් හතරක් දැකගන්න පුළුවන්. මේ ත්‍රිකෝණාකාර කොටස් අට සමාන කරන්නේ අට ලෝ දහම වන ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා සහ සැප, දුකට. මේ ත්‍රිකෝණ අට, එක හා සමානව නොතිබුණොත් අටපට්ටම ඇද වෙනවා. ඒ හා සමානවම ජීවිතයේදී අපි අත් විඳින අට ලෝ දහමෙන් එක් පාර්ශවයකට වැඩිපුර නැඹුරු වුවහොත් ජීවිතයේ සමබරතාව නැතිවෙලා යනවා.

සමචතුරස්‍ර හතරෙන් නිරූපණය කරන්නේ සත්ත්වයා දුක නැති කිරීමේ මාර්ගය වෙත ගෙන යන ප්‍රතිපදාව ඇතුළත් චතුරාර්ය සත්‍යය. දුක පිළිබඳ ආර්ය සත්‍යය, දුක ඇතිවීම පිළිබඳ ආර්ය සත්‍යය, දුක නැති කිරීම පිළිබඳ ආර්ය සත්‍යය සහ දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳ ආර්ය සත්‍යය කියන චතුරාර්ය සත්‍යය බුදු දහමේ මූලික ඉගැන්වීමයි.

අටපට්ටම මැද ඉටිපන්දමක් සවි කිරීමට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ අපගේ සිත පහන් සිලකට උපමා කර තිබීම. පහන් දැල්ල නිසා අටපට්ටම ආලෝකමත් වන්නේ යම් සේද, එලෙසම ප්‍රභාමත් සිත නිසා අවට ලෝකය ආලෝකමත් වෙනවා. අපි වෙහෙස මහන්සි වෙලා නිර්මාණය කරපු වෙසක් කූඩුවේ ලස්සන ඇති වෙන්නේ එහි ඉටිපන්දමේ ආලෝකය හොඳින් ලැබුණොත් පමණයි. ඒ විදිහටම ලෝකය ලස්සන වෙන්නේත් අපි අපේ සිතේ තියෙන ක්‍රෝධය, ද්වේශය අඩු කරලා මෛත්‍රිය, කරුණාව ඇති කරගැනීම මගින් සිත ප්‍රභාමත් වුනොත් පමණමයි.

ඉටිපන්දම් දැල්ල අටපට්ටමට ළං වුණොත් අටපට්ටම ගිනි ගන්නවා. හරියට අපේ සිත සිත අට ලෝ දහමේ ඇලෙන්න ගියොත් ජීවිතය නිකරුනේ විනාශ වෙනවා වගේ. ඒ නිසා අට ලෝ දහමෙන් කම්පා නොවී සිත මැදහත්ව තබා ගැනීමේ වටිනාකම මින් පැහැදිලි කෙරෙනවා.

කොච්චර ලස්සනට හදපු අටපට්ටම් කූඩුවක් වුණත් කාලයත් එක්ක දිරලා විනාශ වෙලා යනවා. ඒ විදිහටම අපිත් අපේ ශරීර කූඩුව කොච්චර ලස්සනට පවත්වා ගන්න උත්සාහ කළත්, අවසානයේ අපි මහළු වෙලා මරණයට පත් වෙනවා කියන ගැඹුරු යථාර්තය අටපට්ටම් කූඩුව බොහොම අපූරුවට කියා දෙනවා.

අටපට්ටම කියන්නේ දේශීය නිර්මාණකරුවාගේ බොහොම අපූරු නිර්මාණයක්. ජීවිතයට ඉතා වටිනා කරුණු රාශියක් කියාදෙන මෙවන් නිර්මාණ මතු පරම්පරාව වෙත දායාද කිරීම අපේ යුතුකමක්.

ඔබට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා…!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *