නැදුගමුවේ රාජා

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සමයේ අනිවාර්යයෙන් කියවුණ නමක් දැන් වසර තුනක පමණ ඉදලා ඇහෙන එක අඩුවෙලා ගිහින්. ඒ වෙන කවුරුවත් නෙමෙයි දෙස් විදෙස් ගෞරවාදරයට පාත්‍ර වූ සද්ධන්ත කුලයේ පූජනීය සලකුණ, නැදුගමුවේ රාජා හස්තියා. මෙවර දළදා පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරන අද දවසේ රාජා ගැන නැවත මතක් කරන්න හිතුවේ වසර ගණනාවක් පුරා පෙරහැර කරඬුව වැඩම කරවමින් සිදු කළ කාර්යභාරය වෙනුවෙන් අපි සැමදා ණය ගැති නිසාවෙන්.

ආසියාවේ විශාලතම වගේම උසම හස්තියා වුනෙත් නැදුන්ගමුවේ රාජා. අඩි 10 යි අගල් 6 ක් උසැති රාජා උපත ලබලා තියෙන්නේ 1953 වසරේ දී ඉන්දියවේ මනිපූර් ප්‍රාන්තයේ. මේ හස්තියා ලංකාවට හිමි වන්නේ කෘතගුණ සැළකීමක් විදිහට. ඉන්දීය රාජවංශිකයෙකුට වැළදිලා තිබූ රෝගයක් සුව කළ මෙරට වෙද පරපුරේ හිමි නමකට තුටු පඩුරු විදිහට මේ ඇත් පැටවා පිරි නමා තිබෙනවා. රාජා 1978 සිට හැදී වැඩුණේ නැදුන්ගමුවේ ධර්මවිජය වෙද මහතාගේ පෙළපතේ භාරකාරිත්වය යටතේ හර්ෂ ධර්මවිජය මහතාගේ වැලිවේරිය නිවෙස් පරිසරයේ.

දළඳා කරඩුව වැඩම කරවන හස්තිරාජයකු සතු විය යුතු ලක්ෂණ වන හත්වැදුම් පොළ පිහිටා තිබීම, එනම් සතර පා, හොඩය, ලිංගය හා වලිගය භූමිය ස්පර්ශ වන ආකාරයෙන් පිහිටීම පමණක් නොව පුළුල් කුඹුතල, පුළුල් පිට, උදාර ලීලාව හා තේජාන්විත දළ යුග්මය ආදී ගුණාංග වලින්ද යුතු වූ නැදුගමුවේ රාජා දළදා පෙරහැර සමඟ එකතු වුණේ 2005 වසරේදී. එතැන් පටන් 2021 වසර දක්වා කාලය තුළ අවස්තා 13 කදී ඓතිහාසික සෙංකඩගලපුර දළදා පෙරහැරේ කරඩුව වැඩම කරවීමේ පුණ්‍ය බල මහිමය මේ පින්වත් හස්ති රාජයාට හිමි වුණා.

කිසි දිනක ප්‍රවාහන රථවල ගමන් නොකළ රාජා සෑම වසරකම දළදා පෙරහැර සමඟ සම්බන්ධ වීමට මහනුවරට පැමිණියේ කිලෝමීටර් 90කට වැඩි දුරක් පා ගමනින්ම ගමන් කරමින්. සිය ගමන් සගයා වුණ කළු මාමාත් සමඟ ගිය මේ ගමන අතරතුරදී රාජා මග දෙපසට එකතු වූ ජනතාවගේ වන්දනාමානයට පවා ලක් වුණා. නැදුන්ගමුවේ රාජා හස්ති රාජයා 2021 වසරේදී අවසන් වරට කරඬුව වැඩම කළ අවස්තාවේදී සඳගලට පා තබන විට පාවඩය සකස් කර ගනිමින් කරඬු වහන්සේ වැඩම කරවීමට කටයුතු කිරීම බොහෝ දෙනාගේ කතා බහට ලක් වුණා ඔබට මතක ඇති. තමන් හට ආදරය කළ සියලු දෙනාගේ නෙතට කඳුලක් එකතු කරමින් රාජා 2022 මාර්තු 7 වැනිදා දිවි ගමනට සමු දුන්නා.

කිසිදු බියකින් සැකයකින් තොරව පෙරහැරකට යොදා ගැනීමේ හැකියාව තිබූ පලපුරුදු හස්තියෙකු වුණ රාජාගේ අහිමි වීම දළදා මාලිගයට සහ ලාංකික හීලෑ අලි ඇත් පරපුරට දරා ගත නොහැකි පාඩුවක්. මේ සද්ධන්තයා ජාතික වස්තුවක් ලෙස නම් කර අනාගත පරපුර වෙනුවෙන් දැක බලා ගැනීමට සංරක්ෂණය කිරීමට තීරණය කෙරුණේ ඒ අනුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *