ශ්‍රී ලාංකිකයින් නිර්මාණය කළ ප්‍රථම චන්ද්‍රිකාව – රාවණා 1

ඕනෑම රටකට තමන්ගේම චන්ද්‍රිකාවක් යොදාගෙන අභ්‍යවකාශය තරණය කිරීම කියන්නේ ඒ රටට ආඩම්බර වෙන්න පුළුවන් කාරණයක්. ශ්‍රී ලංකාවටත් රටක් විදිහට මේ අභිමානය ලබා ගන්න අවස්ථාව ලැබුණේ රාවණා 1 චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කිරීමත් සමඟ. ඉතින් මේ චන්ද්‍රිකාව නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වෙන්නේ කටුබැද්ද ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ සේවය කළ තරිඳු දයාරත්න සහ දුලානි චාමිකා විතානගේ කියන ඉංජිනේරුවන් දෙදෙනාට. ඔවුන් දෙපළ මේ නිර්මාණය සිදු කරලා තියෙන්නේ ජපානයේ ක්‍යුෂු තාක්ෂණික අධ්‍යයන ආයතනයේදී.

ප්‍රමාණයෙන් කුඩා චන්ද්‍රිකාවක් වෙන රාවණා 1 චන්ද්‍රිකාව හඳුන්වන්නේ ඝනක චන්ද්‍රිකාවක් විදිහට. ප්‍රමාණයෙන් ඝන සෙන්ටිමීටර් 1000ක් පමණ වෙන චන්ද්‍රිකාවේ ස්කන්ධය කිලෝ ග්‍රෑම් 1.1ක් පමණ වෙනවා. මේ චන්ද්‍රිකාවට රාවණා 1 කියන නම යොදලා තියෙන්නේ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සනත් පනාවැන්නගේ මහතාගේ යෝජනාවකට අනුව.

මේ චන්ද්‍රිකාව නිර්මාණය කිරීම මගින් අපේක්ෂිත අරමුණු

  • ශ්‍රී ලංකාව සහ ආසන්න කලාපයේ ඡායාරූප ගැනීම.
  • ඉදිරි චන්ද්‍රිකාවලදී භාවිතයට ගැනීමට නියමිත ‘ලෝරා මොඩියුල්’ නම් දත්ත බාගත කිරීම සහ චන්ද්‍රිකාව පාලනය කිරීම සඳහා යොදා ගැනීමට නියමිත මෘදුකාංගයක් අත්හදා බැලීම.
  • චන්ද්‍රිකා සැලසුම් කිරීමේදී දැනට භාවිත වන දෘඩාංග ක්‍රමය වෙනුවට මෘදුකාංග ක්‍රමයක් අත්හදා බැලීම.
  • කක්ෂගත කිරීමෙන් පසු චන්ද්‍රිකාව තමන් වටා කැරකෙන වේගය අඩු කිරීම පිළිබඳව අත්හදා බැලීම.
  • පෘථිවියේ චුම්බක ශක්තිය පිළිබඳව අධ්‍යයනය කිරීම.

නිර්මාණය කිරීමෙන් අනතුරුව 2019 පෙබරවාරි මාසයේදී ජපාන අභ්‍යවකාශ ඒජන්සිය (JAXA) වෙත භාර දීපු රාවණා 1 චන්ද්‍රිකාව පසුව ඒ වසරේම අප්‍රේල් මස 17 වෙනිදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් අලුයම 2.16ට ඇමරිකාවේ සිග්නස් 1 අභ්‍යවකාශ යානය ආධාරයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන ගියා. අනතුරුව පෘථිවියේ සිට කිලෝ මීටර් 400ක් පමණ දුරින් කක්ෂ ගත කරපු රාවණා 1 චන්ද්‍රිකාවේ අවම ආයු කාලය වසර එක හමාරක්.

රාවණා 1 චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කළේ BIRDS 3 ව්‍යාපෘතිය යටතේ. එම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වුණේ මීට කලින් චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කරලා නැති රටවල්වලට ඒ අවස්ථාව ලබා දීම. මේ ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවට මෙන්ම නේපාලයටත් තමන්ගේම චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීමට අවස්ථාව හිමි වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *