ඇසළ මාසයත් සමඟ ශ්‍රී ලාංකික ජනයා කා අතරත් කතිකාවට පත්වන හෙළයේ මහා මංගල්‍යයක් ලෙසින් සෙංකඩගලපුර දළදා පෙරහර මංගල්‍යය පෙන්වා දිය හැකියි. එකල සිටම දිවයින පුරා විවිධ ප්‍රධාන විහාරස්ථාන කේන්ද්‍ර කොටගෙන පවත්වන ලද පෙරහැර මංගල්‍යයන් නිසා මෙම මාසය ඇසළ මාසය ලෙස හඳුන්වන්නට මෙරට ජනයා කටයුතු කරනවා. මහනුවර, අලුත් නුවර, කතරගම, රත්නපුර, හගුරන්කෙත සහ තවත් නගරානුබද්ධව දළදා පෙරහර පැවතියත් වඩාත් කතාබහට ලක් වන මෙන්ම විචිත්‍රවත්ම පෙරහර මංගල්‍යය සෙංකඩගල පුරවර එනම් මහනුවර නගරයේ ශ්‍රී දළදා මාලිගාව සහ සතර මහා දේවාල එක්ව පවත්වනු ලබනවා.
පරම්පරානුගතව පැවත එන විවිධ විචිත්‍රවත් නර්ථන , වාදන සහ රංගනයන්ගෙන් සමන්විත වන මෙම පෙරහැර මංගල්‍යය ශ්‍රී ලාංකීය අභිමානය සහ සංස්කෘතිය ලොවට විදහා පාන මංගල්‍යයක් ලෙසින් හදුන්වා දුන්නාට නම් වරදක් නම් නැහැ. වත්මන් ඇසළ පෙරහර මංගල්‍යය ඉන්දියාවේ ආෂාඪ උත්සවයේ පරිණාමයෙන් ඇතිවූවක් වේ සැලකෙනවා. ක්‍රිස්තු වර්ෂ 18 වන සියවසෙහි අග භාගයෙහිදී එකල රජකල ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසින් , එකල පැවති සතර වරම් දේවාල එනම් නාථ , විශ්ණු , පත්තිනි සහ කතරගම දේවාල වල පෙරහැරට දළදා මාළිගාවේ පෙරහරත් එක් කිරීමත් සමඟ වත්මන් ඇසළ පෙරහර ආරම්භයට අඩිතාලම වැටුණු බව විශ්වාස කෙරෙනවා.
ඇසළ පෙරහැර ප්‍රධාන කොටස් කිහිපයකින් සමන්විත වෙනවා. එනම් කප් සිටුවීම, දේවාල පෙරහැර, කුඹල් පෙරහැර, රන්දෝලි පෙරහැර සහ දහවල් පෙරහැරයි. පළමුව ශ්‍රී දළදා මාළිගාවේ නැකැත් මොහොට්ටාල විසින් නියම කරන නැකතට අනුව උචිත දේවාල භූමියකින් කපාගත් කපක්, සිව් මහා දේවාල භූමියෙහි කප් සිටුවීමෙන් මෙම පෙරහැර මංගල්‍යය ආරම්භය සනිටුහන් වෙනවා. පසුව පස් දිනක් පුරා දේවාල වල රන් ආයුධ කප වටා වැඩමකරවීමේ කුඩ, කොඩි, සේසත්, දවුල් සහ හොරණෑ සහිත දේවාල පෙරහැර සිදුකරනු ලබනවා. මෙම දේවාල පෙරහැරට බැතිමතුන් සහභාගී කරගැනීමක් සිදු වන්නේ නැහැ.
ඊට පසුව දේවාල පෙරහැර පවත්වා පස්වන දින බස්නායක නිළමේ වරුන් රන් ආයුධ, රන් සිවි ගෙයක හිඳුවා ඇතෙකු පිට තබා වුත් ශ්‍රී දළදා මාළිගාවේ පෙරහැර පෙරටු කොටගෙන වීදි සරන්නට කටයුතු කරනවා. තරමක් විචිත්‍රත්වයෙන් අඩු වුවත් මෙය විවිධ සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත වෙනු ලබනවා. කුඹල් පෙරහැර ලෙස හඳුන්වන්නේ මෙම පෙරහැර පහයි. තවද ජනප්‍රවාද වලට අනුව කලෙක දළදා පෙරහැර වීදි සරන්නට පෙර අලුත් වළං කදක් ගත් කුඹලෙක් පෙරහැරේ ඉදිරියෙන් ගමන් කල නිසා මෙයට කුඹල් පෙරහැර යන නම එක් වූ බවත් විශ්වාස කරනවා.
කුඹල් පෙරහැරට පසුව සිදුවන්නේ සෙංකඩගලපුර වීදි වල ජනතාව පිරී ඉතිරී යන රන්දෝලි පෙරහැර වීදි බැසීමයි. සතර මහා දේවාල වල රන් ආභරණ වැඩමවන වාහන , රන් දෝලා පෙරහැරට එක් කිරීම නිසා මෙය රන්දෝලි පෙරහැර ලෙස විරුදාවලිය ලබා තිබෙනවා. අති උත්කර්ශවත් නර්ථන , වාදන සහ රංගනයන්ගෙන් සමන්විත මෙම පෙරහැර මංගල්‍යය දින පහක් පුරා සෙංකඩගලපුර වීදි සිසාරා හෙළ ප්‍රෞඪත්වය විදහා දක්වමින් සංචාරය කරනු ලබනවා. අවසන් රන්දෝලි පෙරහැර මහා රන්දෝලිය ලෙසින්ද හදුන්වනු ලබනවා. අවසානයේ දිය කැපීමේ මංගල්‍යය සහ දවල්පෙරහැරත් සමඟ දළදා මාලිගාවේ දියවඩන නිළමේ තුමන් සහ දේවාල වල බස්නායක නිළමේ වරුන් විසින් රාජ්‍ය නායකයා වෙත චාරිත්‍රානුකූලව පෙරහැර නිසි පරිදි සිදු කරන ලද බව දන්වා සිටීමෙන් මෙම විචිත්‍රවත් මංගල්‍යයේ අවසන සනිටුහන් කරනු ලබනවා.
ඉතින් , ශ්‍රී ලාංකික මහජනයා ලෙස අපද හෙළයේ මහා ප්‍රෞඪත්වය මෙන්ම , සංස්කෘතික උරුමය ලොවට විදහා දක්වන මෙම උතුම් මංගල්‍යය ගැන නිහතමානී ආඩම්බරයක් ඇති කරගත්තාට නම් වරදක් නැහැ.