සිරි දළදා වන්දනාව – 2025

කන්ද උඩරට සෙංකඩගලපුර ශ්‍රී දළදා මාලිගයේ වැඩ සිටින සිරි දළදා වහන්සේ ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වයත් සංස්කෘතියත් සමඟ බැදුණු සුවිශේෂී සංකේතයකි. කවර තත්ත්වයෙක් යටතේ වූවද උතුම් දළදා වහන්සේට අනුබද්ධ පුද පූජා, සිරිත් විරිත් පැවැත්වීම කලින් කලට රාජ්‍යයත්වයට පත්වෙන රාජාධි රාජ නායකයන්ගේ යුතුකම හා වගකීම වේ. දීර්ඝ කලකට පසුව ලෝ වැසි බෞද්ධ ජනතාවට ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ දැක බලා ගැනීමේ පුණ්‍යවන්ත මොහොතක් උදා වී තිබේ. අතීත රජ දවස සිටම කලින් කලට විවිධ අවස්තාවන්හිදී දළදා වහන්සේ මහ ජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය කළ බව ඉතිහාසය පරිශීලනය කරන විට හඳුනාගත හැකිය.

ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ලක්දිවට වැඩම කරවීම සිදු වූයේ ක්‍රි.ව. 310 දී අනුරාධපුරයේ රජ කළ කිත්සිරි මෙවන් රජු දවසය. අනුරපුර ඇතුළුනුවරට දළදා වහන්සේ වැඩම වූ පුවත අසා අනුරපුර ගම් නියම් ගම් ජනපද නුවර වැසියෝ සර්වඥයන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ පිදුමට කැමති බව කියා උද්ඝෝෂණ කළහ. ඒ අනුව කිත්සිරි මෙවන් රජතුමන් විසින් මහ පෙරහැරින් අභයගිරි මහා විහාරයට දළදා වහන්සේ වැඩමවා දින අනූවක් පුරාවට බොහෝ දෙනා උදෙසා සිරි දළදා වන්දනාව පැවැත්වීමට සලස්වා අනාගතයෙහිද එසේ කරන ලෙස දළදා සිරිත් ලේඛනයක් ද ලියවා තැබීය. දාඨා වංශයේ සහ පාහියං හිමියන්ගේ දේශාඨන වාර්තාවෙහි මේ සම්බන්ධයෙන් කරුණු ඇතුළත්ය.

පොළොන්නරුවේ රජකම් කළ නිශ්ශංකමල්ල රජු විසින් දළදා වහන්සේ නිශ්ශංකලතා මණ්ඩපයට වැඩමවා මහජන ප්‍රදර්ශනයක් පැවත්වූ බව දාඨා වංශයේ සඳහන් වේ. දළදා වහන්සේ පාලකයෙකුට අයත් වීම මගින් එම පාලකයාට රාජ්‍යයට නීතිමය උරුමයක් ඇති වන බවට වන සම්මතයක් පාලක පිරිස අතර මෙන්ම ජනතාව අතරද ගොඩනැගුනේ පොළොන්නරු රාජධානි සමයෙන් පසුවය.

දළදා සමිඳුන් උදෙසා දිනකට තෙවරක් පුද පූජා පැවැත්වීම ආරම්භ කර ඇත්තේ දඹදෙණිය රාජධානියේ රජකම් කළ දෙවන පරාක්‍රමබාහු රජතුමා විසිනි. ඔහු තමා උපන් සිරිවර්ධනපුරයට දළදා වහන්සේ වසරක් පාසා වැඩම කරවා, තෙමසක් මුළුල්ලේ මහජන ප්‍රදර්ශන පවත්වා තිබේ. පසු කාලීනව මහනුවර රජකම් කළ ශ්‍රී විජය රාජසිංහ රජතුමා මෙන්ම කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාද ලක්වැසියනට සිරී දළදා වන්දනාව පැවැත්වීමට කටයුතු සැලැස්වීය.

ක්‍රි.ව. 1815 දී උඩරට ගිවිසුම අත්සන් තැබීමත් සමග නිල වශයෙන් ලක්දිව ඉංග්‍රීසීන්ගේ යටත්විජිතයක් බවට පත්විය. ගිවිසුමේ සඳහන් පරිදි ඉංග්‍රීසින් කටයුතු නොකිරීම නිසා කෝපයට පත් සිංහල නායකයන් 1818 වසරේදී දියත් කළ ඌව වෙල්ලස්ස කැරල මැඩ පවත්වා, මහජන සංහාරයක් සිදු කළ ඉංග්‍රීසීහු වසර දහයක් දළදා පෙරහර හෝ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට ඉඩ ලබා නොදුන්හ. මෙම කාලය තුළ වර්ෂාව නොමැතිව මහා දුර්භික්ෂ තත්ත්වයක් ඇති වූ අතර එම තත්ත්වය මග හරවා ගැනීමට දළදා ප්‍රදර්ශනයක් පවත්වන ලෙස ඉංග්‍රීසීන්ට බල කෙරුණි. අවසානයේ වෙනත් විකල්පයක් නොවූ නිසාවෙන් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා 1828 මැයි 29 වන දිනට යෙදුණු වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේ සිට පුරා දින හතක් දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට අවසර ලබා දුන්නේය. අවසන් වරට දළදා වහන්සේ දළදා මාලිගාවෙන් පිටතට වැඩමවීම සිදු වූයේ මෙහිදී වන අතර දළදා වන්දනාව අවසානයේ ප්‍රාතිහාර්යයකින් මෙන් මහ වැසි ඇදහැලී ඇල දොල පිරී මහා ගංවතුරක් ගැලූ බව පැවසේ. දළදා වතුර නමින් රචනා වූ කාව්‍යයෙන් මෙම ගංවතුර පිළිබඳව විස්තර කෙරේ.

ඉන් අනතුරුව ඉංග්‍රීසි පාලකයන්ගේ පාලන සමයෙහි ද නිදහස ලැබීමෙන් පසුව ද සුවිශේෂි අවස්ථා කිහිපයකදීම සිරි දළදා වන්දනාව පවත්වා ඇත. එලෙස මහජනතාව උදෙසා සිරි දළදා වන්දනාව පැවැත්වූ වර්ෂ අතර 1882 වර්ෂය මෙන්ම මෑත ඉතිහාසයේ 1972, 1978, 1991, 1995, 2001 වර්ෂ ද වේ. 2004 වසරේ අප්‍රේල් 17 සිට මැයි 01 දක්වා ස්‍යාමෝපසම්පදාව සිදුවී වසර 250 ක් සපිරීම නිමිත්තෙන් ද මහජනතාව උදෙසා සිරි දළදා වන්දනාව පවත්වා තිබේ.

ඉතිහාසයේ අවසන් වරට මහ ජනතාව උදෙසා දළදා දැක්මක් සිදු කෙරුණේ වර්ෂ 2009 මාර්තු 06 වෙනිදා සිට 14 වෙනිදා දක්වාය. එම දළදා දැක්ම ඇරඹුණු මුල් දින පස්වරුවේ එතෙක් මහනුවර පැවති දැඩි නියගය කෙළවර කොට ඇදහැලුනු මහා වර්ෂාව දළදා ප්‍රාතිහාර්යයකින් සිදු වූවක් බව සියලු සැදැහැවතුන්ගේ පිළිගැනීම විය. මේ අසිරිය දුටු බැතිමතුන්ගේ සාධු නාදයෙන් අවට ගිගුම් දෙන්නට විය. අහස ගුගුරුවමින් ඇදහැලුනු වැසි දහර ජනතාවට ආශිර්වාදයක් බඳු විය.

එතැන් සිට සොළොස් වසරකට පසු නැවතත් ලෝකවාසී බෞද්ධ ජනතාව ජීවමාන බුදුන් සේ සලකා වන්දනාමාන කරන, සෙංකඩගල ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැකබලා ගැනීමට අවස්තාව උදා වී තිබේ. ඒ අනුව වර්ෂ 2025 අප්‍රේල් 18 වන අද දිනයේ සිට ලබන 27 වෙනිදා දක්වා “සිරි දළදා වන්දනාව” අති උතුම් දළදා වහන්සේගේ ආශිර්වාදයෙන් සැමට සෙත, ශාන්තිය, සමෘද්ධිය, සෞභාග්‍යය, සමඟිය, සමාදානය, මෙලොව යහපත හා එලොව සුගතිය සැලසීමේ අරමුණින් පැවැත්වේ.

වසර ගණනාවකට පසුව හිමිවී තිබෙන ශ්‍රී දළදා වහන්සේ වන්දනා කිරීමේ අවස්ථාවට මෛත්‍රී කරුණා සහගත සිතිවිල්ලෙන් යුතුව සහභාගි වෙමු. මුළු මහත් ජනකායක් ඉතාම කෙටි කාලයක් තුළ ශ්‍රී දළදා වහන්සේ වන්දනා කිරීමට පැමිණෙන බැවින් විවිධ තාඩන පීඩන හෝ ගැටුම්කාරී තත්ත්වයන් ඇතිවුවොත් ඒ හැම මොහොතකම මෛත්‍රී සහගත සිතිවිල්ලෙන්ම උතුම් තිලෝගුරු බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඉතාමත් ගෞරවයෙන් යුක්තවම ශ්‍රී දළදා වහන්සේ වන්දනා කරමු.

ඔබ සැමට උතුම් ශ්‍රී දළදා සමිඳු පිහිටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *